Last Update  :  2026-02-24 22:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මලල ක්‍රීඩා නිලවරණයට බාලගිරි දෝෂය

මලල ක්‍රීඩා නිලවරණයට බාලගිරි දෝෂය

editorial - 2026 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) කැඳවීම  විරෝධතාවක තීන්දුව ලබාදීම ප්‍රමාදයෙන් තවදුරටත් කල් දැමීමට සිදුව තිබේ.ඒසස් ක්‍රීඩා සමාජය, අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික් මලල ක්‍රිඩා සංගම් නිලවරණයට සහභාගි කර ගැනීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවට මුදල් ගෙවා ඉදිරිපත් කළ විරෝධතාවයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ වන විට ක්‍රීඩා පනතේ රෙගුලාසී වලට අනුව කල් ඉකුත්වී තිබේ.

මලල ක්‍රීඩා ආයතනයේ මීළග නිලවරණය සදහා කැඳවූ නාමයෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා විභාගය අවසන් කර එහි තීන්දු ප්‍රකාශයට පත් කිරීමටද නිලවරණ කමිටුව මේ වන විට පියවර ගෙන තිබේ.එහෙත් නිලවරණය පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

පසුගිය 2025 අගෝස්තු 18 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ හදිසි නියෝගයකින් මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය (2025 - 27) තාවකාලිකව අත් හිටුවනු ලැබීය.ඒ අනුව නැවත මුල සිට කටයුතු සූදානම් කරමින් මලල ක්‍රීඩා නිලවරණය කැඳවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණයට අනුව මේ වන විට නාම යෝජනා කැඳවා අවසන් කර තිබේ.

ඒ සදහා දැන් පවතින බාධාව වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවට මුදල් ගෙවා බාර දුන් ඉහත විරෝධාතාව සම්බන්ධයෙන් තීන්දුව ඊයේ වන විටත් (23) ප්‍රකාශයට පත් නොවීමය.

මලල ක්‍රීඩා ආයතනයේ මීළග නිලවරණයේදී සභාපති ධූරයට තරග වදින අපේක්ෂයන් වන සුනිල් ගුණවර්ධන ( ට්‍රැක් මාස්ටර්ස්), බිමල් විජේසිංහ රත්නපුරය), ප්‍රසන්න ඉන්දික (වෙළද සේවා) හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජී.සුගත් කුමාර (මාතර) යන මහත්වරුන්ගේ නාමයෝජනා සදහා නිලවරණ කමිටුවේ අවසන් අනුමැතිය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රධාන ලේකම් ධූරයට මාධව සෙනෙරත් බන්ඩාර (කොළඹ) හා වෛද්‍ය ධම්මික විශ්වජිත් සේනානායක (කෑගල්ල) යන මහත්වරුන් නාමයෝජනා බාරදී තිබේ.රසිකා නීලංගනී (මාතර) හා රුවන් කුමාර හේවගේ (ට්‍රැක් මාස්ටර්ස්) යන මහත්ම මහත්මීන් භාංඩාගාරික ධූරයට තරග වදින්නෝ වෙති.

ජගත් ඥානසිරි (කොළඹ), ජයන්ත ගාමිණී සියමුදලි (රත්නපුරය), ප්‍රසන්න කුමාර අළුවිහාරේ (මාතලේ), අයිරාංගනී රූපසිංහ (ශ්‍රී ලක්), ගිතක නිමන්ත ජයතිලක (යුද හමුදා), ප්‍රසන්න ඉන්දික (වෙෙළද සේවා), සී. ප්‍රේමලාල් චන්ද්‍රකුමාර (කුරුණෑගල) යන මහත්ම මහත්මීන් කැඳවීමට නියමිත මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයේදී පත් කර ගන්න උප සභාපති ධුර දෙකක් සදහා නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.

උප ලේකම් ධුරයට ඇලෝයි නිෂාන්ත (පොළොන්නරුව), වෛද්‍ය ධම්මික විශ්වජිත් සේනානායක (කෑගල්ල), සමීර ලක්රුවන් පෙරේරා (ශ්‍රී ලක්) හා කේ.ඒ.මහේෂ් ගුණරත්න (වෙෙළද සේවා) යන මහත්වරුන් නාම යෝජනා බාරදී තිබේ.

මේ අතර වාර්තා වූයේ උප භාණ්ඩාගාරික තනතුර සදහා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරන විමල් ශාන්තලාල් ද සිල්වා මහතා සෙසු නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප වීමෙන් නිතරගයෙන් පත්ව සිටින බවයි.

බන්ඩා සමරකෝන් (විශ්ව විද්‍යාල) හා ෂෙහාන් සදරුවන් අඹේපිටිය (ට්‍රැක් මාස්ටර්ස්) යන මහත්වරුන් දත්ත සටහන්කරු තනතුරට තරග වදින අතර විධායක සභික ධූර අටක් සදහා නාම යෝජනා 15 ක් ඉදිරිපත්ව තිබේ.

තත්වය එසේ තිබියදී වසර 2026 ට කෙටුම්පත් කර තිබෙන මලල ක්‍රීඩා දින දසුනට අනුව පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පෙබරවාරි 28 - මාර්තු 1 යන දිනවල දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.එම දින දසුනට අනුව ජාතික ඇවිදීමේ තරගාවලියත් මාර්තු 1 වැනිදා පැවැත්වෙන බව දක්වා තිබේ.

ලබන අප්‍රේල් 22 වැනිදා සිට 30 වැනිදා දක්වා චීනයේ සන්යා නුවරදී පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමද මේ වන විට නිර්දේශ කර අවසන්ව තිබේ.   

පසුගිය 2025 අගෝස්තු 25 දාතමින් නිකුත් වූ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය යටතට තාවකාලිකව පවරා ගත් ජාතික ක්‍රීඩා සංගම් තුනක් වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය හා ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයයි.

මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණයට (2025 - 27) අදාළව මුදල් ගෙවා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුවට භාර දුන් අභියාචනා (විරෝධතා) තීන්දු ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදයෙන් ජාතික ක්‍රීඩා සංගම් නව රෙගුලාසි මාලාවේ වගන්ති දෙකක් උල්ලංගනය වී තිබෙන බවට චෝදනා එල්ලවී තිබේ.

අභියාචනා පිළිබද තීරණය වැඩ කරන දින10 ක්ඇතුළත අභියාචනා කමිටුව විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.යන වගන්තිය හා අනතුරුව නිලවරණ කමිටුව විසින් අවසානයට සකස් කෙරෙන නාමයෝජනා ලේඛනය අදාළ ජාතික සංගමය විසින් සිය අනු සංගම් වෙත යවා අවම වශයෙන් එයින් දින14 කට පෙර දැනුම්දීමක් සිදු කර නිලවරණය පැවැත්විය යුතුය.යන වගන්ති දෙක එහිදී බිද වැටී තිබේ.


අදහස් (0)

මලල ක්‍රීඩා නිලවරණයට බාලගිරි දෝෂය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.