Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මරේගේ කතාවෙන් තරගාවලිය උණුසුම් වෙයි

මරේගේ කතාවෙන් තරගාවලිය උණුසුම් වෙයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තව මාස කිහිපයකින් තමා ටෙනිස් පිටියෙන් සමුගන්නා බව ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල හිටපු නොම්මර එකේ ක්‍රීඩක මහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ මෙල්බර්න් නුවරදී කළ ප්‍රකාශයත් සමග හෙට (14) මෙල්බර්න් නුවර දී ඇරැඹෙන වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට වෙනදාට වඩා ජීවයක් ලැබී තිබේ. ලෝක ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩිම මුදල් ත්‍යාගයක් පිරිනැමෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 107 වැනි වරටය.

රෆායල් නඩාල් (ස්පාඤ්ඤය)

රොජර් ෆෙඩරර් (ස්විට්සර්ලන්තය)

සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී ඉතා හැගුම්බර වූ මරේ දිගු කාලයක් තිස්සේ ශාරිරිකව පසුබෑමකට ලක්වී සිටින බැවින් තම ටෙනිස් තරග දිවිය තව මාස කිහිපයකින් නිමාවට පත්වනු ඇතැයි කියා සිටියේය. කාලයක් තිස්සේ විවිධ ආබාධවලට ලක්වීමෙන් තරගාවලි පිට තරගාවලි මග හරවා ගත් මරේට මෙවර ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී ක්‍රීඩා කිරීමට සිදුවී ඇත්තේ උකුළු ඇටයේ සුව නොවන ආබාධයකුත් සමගය.

මේ වසරේ මැද ගිම්හාන සෘතුවේදී එංගලන්තයේ පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලිය දක්වා ක්‍රීඩා කරමින් එම ශූරතාවලියේදී තම රටේහිම ක්‍රීඩාලෝලීන් හමුවේ පිටියට සමුදීම ඇන්ඩි මරේගේ අදිටන වී තිබේ. එහෙත් ඔහුගේ ආබාධය නිසා දැන් එය අවදානම් තත්ත්වයක පවතී.

“මට හරියටම කියන්න බෑ මේ වේදනාවත් එක්ක මට ඊළඟ ගිම්හානය වනතුරු ක්‍රීඩා කරන්න පුළුවන් වේවිද කියලා. එහෙම වුණොත් ඕස්ට්‍රේලියානු තරගාවලිය මගේ ටෙනිස් ක්‍රීඩාවේ අවසන් තරගාවලිය වේවි” යයි ඇන්ඩි මරේ කීවේ කඳුළු පිරි දෑසින් යුතුවය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේදී විම්බල්ඩන් ශූරතා දෙකක් සහ අමෙරිකානු විවෘත ශූරතාව දිනා ඇති 31 හැවිදිරි මරේ ආබාධ නිසාම පසුගිය කාලයේ වැඩි හරියක් පිටියෙන් ඉවත්වී සිටියේය.

මරේගේ වේදනාත්මක සමුගැනීමේ පුවතත් සමග හෙට ඇරැඹෙන මේ තරගාවලියේදී තම තමන්ගේ දස්කම් මුවහත් කරගැනීමට සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කුරුමානම් අල්ලමින් සිටිති.

දණහිසේ ආබාධයකට මුහුණ පා සිටින ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි තැන සිටින ආර්ජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ සහ ඉකිළියේ ආබාධයකට ලක්වී ඇති ශ්‍රේණිගත කිරිම්වල 26 වැනි ස්ථානයේ පසුවන ප්‍රංශයේ රිචඞ් ගැස්කට් හැරුණු විට ලෝක ටෙනිස් පිටියේ නම ගිය සෙසු සියළුම තරග කරුවන් හෙට මෙල්බර්න් පිටියට බසිනු ඇත.

මෙවර තරගාවලියේදී ශූරතාව රැක ගැනීම පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පිරිමි ශූරතාව දිනූ ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්ගේ අරමුණ වූවත් වත්මන් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජොකෝවික් සහ දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් හමුවේ එය එතරම් ලෙහෙසි කාරණාවක් නොවනු ඇත.

නොවැක් ජොකෝවික් (සර්බියාව)

ජොකෝවික් වසර 2018 නිමාවට පත් කළේ ඉතා විශිෂ්ට දස්කම් පෙන්වමින් නොම්මර එක අත්කර ගනිමිනි. ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ අති භයංකාර ක්‍රීඩකයකු ලෙස සැළකෙන නඩාල් මෙවර ෆෙඩරර්ගේ ඉවසීම කදිමට පරික්ෂාවට ලක් කරනු නිසැකය.

මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට අමෙරිකාවේ සෙරීනා විලියම්ස් පැමිණෙන්නේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. මේ වනවිට ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළු 23 ක්ම දිනා සිටින ඇයට ලොව වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළු ප්‍රමාණයක් දිනූ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක මාගරට් කෝට්ගේ වාර්තාව සම කිරීමට තවත් අවශ්‍ය වී ඇත්තේ එකම එක ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් පමණි.

පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දී ඇයට මේ අවස්ථාව මග හැරී ගියේ කුසලානයට අත පොවන මානයටත් පැමිණියාට පසුවය. එදා අවසන් මහා තරගයේදී නයෝමි ඔසාකා හමුවේ පරාජයට පත්වූ සෙරිනාට හිමිවූයේ අනුශූරතාවයයි.

සෙරීනා විලියම්ස්

සැකසුම : මොහාන් ප්‍රනාන්දු


අදහස් (0)

මරේගේ කතාවෙන් තරගාවලිය උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.