Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මන්කාඞ් දවාගැනීමෙන් ක්‍රිකට් ලොව දෙකඩ වෙයි

මන්කාඞ් දවාගැනීමෙන් ක්‍රිකට් ලොව දෙකඩ වෙයි

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර ඊයේ (25) පැවැති තරගයේදී ‘මන්කාඞ්’ ක්‍රමයට ජොස් බට්ලර් දවාගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකය දෙකඩ වී තිබේ. 

අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයේ නම්දැරූ ක්‍රීඩකයන් මෙන්ම නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය පිට දඟ පන්දු යවන්නා මෙන්ම කිංග්ස් XI පිලේ නායකයාද වන රවිචන්ද්‍රන් අශ්වින්ට දෙස් දෙවොල් තැබීමටත් තවත් පිරිසක් අශ්වින් ආරක්‍ෂා කිරීමටත් ඉදිරිපත් වීම නිසා මෙවර අයි.පී.එල්. තරගාවලිය ආරම්භයේදීම මහත් කලබගෑනියක් ඇතිවී තිබේ. 

අශ්වින්ට දෝෂාරෝපණය කරන්නන් අතර ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන ෂේන් වෝන් ඉදිරියෙන්ම සිටී. 

‘මන්කාඞ් ක්‍රමය’ යනුවෙන් හැඳින්වෙන, පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා ලකුණක් සඳහා දිවයාමට ආරම්භයක් ලබාගන්නා අවස්ථාවේදී දවාගැනීම නීත්‍යානුකූල දවාගැනීමේ ක්‍රමයකි. එහෙත් ක්‍රිකට් ලෝකයේ එය සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට පටහැණි ක්‍රියාවක් ලෙසිනි. 

ක්‍රිකට් ක්‍රීඩාවට නීතිරීති සම්පාදනය කරන, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේත් සාමාජිකයකු ලෙසින් කටයුතු කරන වෝන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අශ්වින්ට එරෙහිව කටයුතු කළ යුතු බවයි. එංගලන්ත නායක ඔයින් මෝගන් කීවේ තමන් දුටු දෙය විශ්වාස කිරීමට හෝ නොහැකි බවයි. 

“පොඩි ළමයින්ට දුන් ඉතාම නරක ආදර්ශයක්. කාලයක් ගියාම අශ්වින් මේ ගැන කණගාටු වේවි” යයිද මෝගන් කීවේය. 

පන්දු 43 කදී ලකුණු 69 ක් රැස්කිරීමෙන් පසුව දැවී ගිය ජොස් බට්ලර් ආපසු ක්‍රීඩාගාරයට යාමට පෙර අශ්වින් සමග උණුසුම් වචන හුවමාරුවකද පැටළුණේය. කෙසේ වෙතත් ජොස් බට්ලර් මෙම සිදුවීමට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ. වසර 2014 දී ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නකු වූ සචිත්‍ර සේනානායක විසින් එංගලන්තයේදීත් මේ ආකාරයෙන්ම ජොස් බට්ලර් දවාගන්නා ලද්දේ ඔහුට අවවාද කිරීමෙන් ද පසුවය. 

ඉන්දීය කණ්ඩායමේ සිටි විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ විනෝ මන්කාඞ් විසින් 1947 ඕස්ටේ්‍රලියානු සංචාරයේදී ඕස්ටේ්‍රලියානු පිතිකරු බිල් බ්‍රවුන් දෙවතාවක්ම මේ ආකාරයෙන් දවාගැනීම හේතුවෙන් මෙම දැවීයාම ‘මන්කාඩින්’ ලෙසින් හැඳින්වේ. 

මේ අතර අශ්වින්ගේ ක්‍රියාව සාධාරණ යයි කීමට ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරයකු වන හර්ෂ බෝග්ලේ මහතා ඉදිරිපත් වී සිටී. එහෙත් බෝග්ලේ මහතාගේ අදහස වන්නේ ක්‍රිකට් නීතිරීති අතර අවවාද කිරීම් ගැන සඳහන් නොවන බවයි 

“පිතිකරුවා ස්ටම්ප් කිරීමට හසුකරගන්නේ නැතිව, ඔහු සීමාව පනින බවට කඩුලු රකින්නා අවවාද කරන්නේ නෑනේ...ඒ වගේ තමයි” යයි ෂේන් වෝන්ගේ තියුණු වදන් වලට පිළිතුරු ලෙසින් හර්ෂ බෝග්ලේ ට්විටර් පණිවුඩයක් තබා තිබිණ. 

බට්ලර් දැවී යන විට රාජස්තාන් පිලේ ජයග්‍රහණය සඳහා පන්දු 43 කදී ලකුණු 77 ක් අවශ්‍යව තිබුණු අතර ඔවුන් අත කඩුලු 9 ක් තිබිණ. ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. 

කිංග්ස් ඞෂ පන්ජාබ් පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ක්‍රිස් ගේල් පන්දු 47 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 79 ක් රැස්කළේය. අයි.පී.එල්. ඉතිහාසයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 4000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමටද ගේල්ට හැකිවිය. ඒ සඳහා ඔහුට ඉනිම 112 ක් වැය වී තිබිණ. අයි.පී.එල්. තරග බිමේදී ලකුනු 4000 සීමාව පසු කළ විදෙස් ක්‍රීඩකයන් වන්නේ ගේල් සහ ඉනිම 114 කින් කඩයිම පැනගිය ඬේවිඞ් වෝනර් පමණි.

කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 4 කට 184
(කිස් ගේල් 79, මායන්ක් අගර්වාල් 22, සර්ෆ්‍රාස් ඛාන් නොදැවී 46, නිකලස් පූරන් 12, බෙන් ස්ටෝක්ස් 48/2)

රාජස්ථාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 170
(අජින්ක්‍යා රහනේ 27, ජොස් බට්ලර් 69, සංජු සැම්සන් 30, ස්ටීවන් ස්මිත් 20, මුජීබුර් රෙහෙමාන් 31/2, අන්කිත් රාජ්පුත් 33/2, සෑම් කරන් 52/2)

 


අදහස් (0)

මන්කාඞ් දවාගැනීමෙන් ක්‍රිකට් ලොව දෙකඩ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.