
(ශානුක අරවින්ද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි කොටස යටතේ මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී පාකිස්තාන පිලට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත පිල සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් දෙවැනි කොටසේ පෙරමුණ රැකගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමටද එංගලන්ත පිලට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ කඩුලු 8 ක් දැවී පන්දු 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හැරී බෲක් (100) පන්දු 51 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග සිය මංගල විස්සයි-20 ජාත්‍යන්තර ශතකය රැස්කරමින් එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් විල් ජැක්ස් පන්දු 23 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
ලකුණු 35 ක් තුළ එංගලන්ත පිතිකරුවන් තිදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වූ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි එංගලන්ත කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමුවේය. එහෙත් එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් බෲක්, සෑම් කරන් (16) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 28 කින් ලකුණු 45 ක්ද, විල් ජැක්ස් සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 31 කින් ලකුණු 52 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශහීන් අෆ්රිඩි සිය ඕවර 4 ලකුණු 30 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. මොහොමඩ් නවාස් ලකුණු 26 කට කඩුලු 2 ක්ද, උස්මාන් තාරික් ලකුණු 31 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වුවත් බෲක්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඒවා ගඟට කැපූ ඉනි බවට පත් විය. එමෙන්ම මෙම පරාජයත් සමග තරගාවලිය තුළ පාකිස්ථානයේ ඉදිරි ගමන ඉතා කර්කශ එකක් බවට පත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. එහිදී ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සහීබ්සාදා ෆර්හාන් පන්දු 45 කින් ලකුණු 63 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. එය ඔහුගේ 10 වැනි විස්සයි-20 අර්ධ ශතකය වූ අතර එම අර්ධ ශතකයත් සමග මෙම තරගාවලිය තුළදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ දමාගත් ඔහු, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත් විය.
ලකුණු 27 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී බාබර් අසාම් (25) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆර්හාන්, ඉන් නොනැවතී ෆකාර් සමාන් (25) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්ථාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පාකිස්තාන ඉනිම මුලුමුනින්ම එම සම්බන්ධතා දෙක මත පදනම්ව ගොඩනැගිණ.
එහිදී පන්දු 16 කට මුහුණදුන් ෆකාර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 24 කදී වාර්තා වූ බාබර්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. ශදාබ් ඛාන් පන්දු 11 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. එංගලන්තය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ලයෑම් ඩෝසන් ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර ජොෆ්රා ආචර් සහ ජෙමී ඕවර්ටන් කඩුලු 2 බැගින් දවාගත්හ.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුුලු 9 ක් දැවී 164
(සහිබ්සාදා ෆර්හාන් 63, බාබර් අසාම් 25, ෆකාර් සමාන් 25, ලයෑම් ඩෝසන් 24/3, ජෙමී ඔවර්ටන් 26/2, ජොෆ්රා ආචර් 32/2)
එංගලන්තය - ඕවර 19.1 කදී කඩුලු 8 ක් දැවී 166
(හැරී බෲක් 100, සෑම් කරන් 16, විල් ජැක්ස් 28, ශහීන් අෆ්රිඩි 30/4, උස්මාන් තාරික් 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.