Last Update  :  2026-02-24 22:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිට පිටම තෙවරක් මහනුවර පැරදවූ සී.ආර්. ශූරතාව දිනයි
අන්තර් සමාජ රග්බි ලීගය

පිට පිටම තෙවරක් මහනුවර පැරදවූ සී.ආර්. ශූරතාව දිනයි

editorial - 2026 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ කුසලාන ශූරතාව දිනාගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සෙනසුරාදා (21 වැනිදා) සමත් විය. ඒ අවසන් මහ තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23-21 ක අතිශය තියුණු ජයක් වාර්තා කරමිනි. සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලීග් රග්බි ශූරතාවට හිමිකම් කීවේ 15 වැනි වරටය. 

මෙවර තරගාවලියේදී සී.ආර්. කණ්ඩායම ලැබූ 10 වැනි ජය මෙය වූ අතර මහනුවර කණ්ඩායමට එරෙහිව ලැබූ තෙවැනි ජයද මෙය විය. මෙන් පෙර මෙම කණ්ඩායම් දෙක අතර මූලික වටය සහ සුපිරි වටය යටතේ පැවැති තරග දෙකේදී මහනුවර කණ්ඩායම පරාජය කිරීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වූයේ පිළිවෙළින් ලකුණු 25-20 ක් සහ ලකුණු 17-15 ක් ලෙසිනි. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 14-07 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී උත්සාහ දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු 16 ක් රැස්කිරීමට සමත් වූ සී.ආර්. ක්‍රීඩකයෝ, සිය මුලු ලකුණු සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ දමාගත්හ. මහනුවර කණ්ඩායමට එහිදී ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට සී.ආර්. කණ්ඩායමට ලකුණු 2 ක තියුණු ජයක් හිමිවිය. 

තරගයේ 13 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමේ දිනාල් ඒකනායක විනිසුරුගේ දැඩි අවවාද සමග රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව යෑම හේතුවෙන් ඉතිරි විනාඩි 67 ම ඔවුන්ට ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් තරග වැදීමට සිදුවිය. ඒ සමගම 14 වැනි විනාඩියේදී ඔමල්ක ගුණරත්න වාර්තා කළ උත්සාහක දිනුම සහ තේනුක නානායක්කාර සාර්ථක කරගත් එහි ප්‍රවර්ථනය සී.ආර්. කණ්ඩායම තරගයට අවතීර්ණ කළේය. 

තිළිණ බණ්ඩාර 23 වැනි විනාඩියේදීත්, තරිඳු චතුරංග 27 වැනි විනාඩියේදීත් වාර්ථා කළ උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් ශාහිඩ් සුම්රි සහ අරුණ පෙරේරා ලකුණු 14-07 ක් ලෙස මහනුවර කණ්ඩායම තරගයේ ඉදිරියට ගෙන ආවේය. එතැන් පටන් කණ්ඩායම් දෙකම කෙතරම් තරගකාරී අයුරින් තරග වැදුණාද කිවහොත් පළමු අර්ධය නිමාවට පත්වන තෙක් දෙපිලටම යළිත් ලකුණු රැස්කිරීමට නොහැකි විය. 

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 13 ක් ගතවන විට එනම් 53 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් තේනුක නානායක්කාර ලකුණු 14-10 සී.ආර්. කණ්ඩායම මහනුවර කණ්ඩායමේ ආසන්නයට ගෙන ආවේය. සී.ආර්. කණ්ඩායමට ලකුණු 15-14 ක් ලෙස මහනුවර කණ්ඩායම පසුකර යෑමට හැකි වූයේ 57 වැනි විනාඩියේදී චෙමෝද් මුතුනායක වාර්තා කළ උත්සාහක දිනුම හේතුවෙනි. 

තරගය නිමාවීමට විනාඩි 10 ක් තිබියදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ විදුන අමනෙත්, ලකුණු 20-14 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය වැඩි කළේය. එහෙත් 76 වැනි විනාඩියේදී දිලුක්ෂ දංගේ වාර්තා කළ උත්සාහක දිනුමත්, අරුණ පෙරේරා සාර්ථක කරගත් ප්‍රවර්ථනයත් සමග ලකුණු 21-20 ක් ලෙස යළිත් තරගයේ පෙරමුණට පැමිණීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගය නිමා වීමට විනාඩියක් ඉතිරිව තිබියදී සී.ආර්. කණ්ඩායමට හිමිවූ තීර්ණාත්මත දඬුවම් පහර සාර්ථක කරගැනීමට සමත් වූ තේනුක නානායක්කාර එදා මෙදා තුර අන්තර් සමාජ රග්බි ලීග ඉතිහාසයේ 15 වැනි ශූරතාව සී.ආර්. කණ්ඩායමට දිනා දීමට කටයුතු කළේය. එකම තරගාවලියක් තුළ මහනුවර කණ්ඩායම තෙවරක් පරාජය කරමින් දිනාගත් ශූරතාවක් බැවින් එය සී.ආර්. කණ්ඩායමට සුවිශේෂී ශූරතාවක් බවටද පත් විය.  

 


අදහස් (0)

පිට පිටම තෙවරක් මහනුවර පැරදවූ සී.ආර්. ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.