Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට වීසා දෙන්න ඉන්දියාවෙන් පොරොන්දුවක්

පාකිස්තානයට වීසා දෙන්න ඉන්දියාවෙන් පොරොන්දුවක්

editorial - 2021 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබාර් අසාම්ගේ පාකිස්තානු කණ්ඩායමට ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවට යාමට කිසිදු අපහසුතාවයක් ඇති නොවනු ඇත. ලෝක කුසලාන තරගාවලිය සඳහා සිය අසල්වැසි රටේ ක්‍රීඩකයින්ට වීසා ලබා දීමට ඉන්දීය රජය සූදානම් වන බැව් වාර්තා වේ.

පාකිස්තාන ක්‍රීඩකයින්ට වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය ගත් තීරණය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුබද්ධ උපදේශක කමිටුවට දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් පත වාර්තා කරයි.

“පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වීසා බලපත්‍ර ප්‍රශ්නය විසඳලා තියෙන්නේ. ඒත් ක්‍රිකට් රසිකයන්ට තරඟ නැරඹීම සඳහා ඉන්දු - පාකිස්තාන් දේශ සීමාව හරහා ගමන් කළ හැකිද යන්න තවමත් පැහැදිලි නෑ” යැයි උපදේශක කමිටු සාමාජිකයෙක් ප්‍රකාශ කර තිබේ.

“ඒක නියමිත වේලාවට තීරණය කෙරේවි. ඒත් පාකිස්තානු කණ්ඩායමට වීසා දෙන්න අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පොරොන්දු වෙලා තියෙන්නේ” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා පැවසීය.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී එෂාන් මානි මහතා පවසා තිබුණේ කණ්ඩායමට ඉන්දියානු වීසා නොලැබෙන්නේ නම් තරගාවලිය වෙනත් ස්ථානයක පැවැත්විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිත සහතිකයක් ලැබිය යුතු බවද එෂාන් මානි මහතා කියා සිටියේය.

“අපට වීසා සහතික දෙන බවට ලිඛිත පොරොන්දුවක්  දෙසැම්බර් 31 වන විට ලබා දිය යුතු බව මම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා සිටියා. ඒත් එය සිදු නොවූයේ ඔවුන්ගේ සභාපති සෞරව් ගංගුලි මහතා දෙවරක්ම රෝහල් ගත කළ නිසායි” යයිද එෂාන් මානි මහතා පැවසීය.

කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද ඉන්දියාවට ඇතුළු වීම සඳහා වීසා බලපත් අවශ්‍ය බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී එෂාන් මානි මහතා අවධාරණය කරයි.

දෙරට අතර දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය වසර ගණනාවක් තිස්සේ ද්විපාර්ශ්වික තරගාවලයක් පවත්වා නැත. කණ්ඩායම් දෙකම එකිනෙකා හමුවන්නේ ලෝකයේ වෙනත් රටවල පවතින තරගාවලි වලදී පමණි.
 
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ ස්ථාන නවයකදී පැවැත්වේ. අහමදාබාද්, දිල්ලිය , මුම්බායි, චෙන්නායි, කොල්කටා, බැංගලෝර්, හයිද්‍රාබාද්, ධරම්ශාලා යන නගර වලදී ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිතය. අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අවසන් මහ තරගය පැවැත්වෙනු ඇත.


- 213

 


අදහස් (0)

පාකිස්තානයට වීසා දෙන්න ඉන්දියාවෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.