Last Update  :  2026-04-10 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවන් තුෂාර සමාව ඉල්ලයි

නුවන් තුෂාර සමාව ඉල්ලයි

editorial - 2026 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අයි.පී.එල්. තරගාවලියට සහභාගීවීම සඳහා ‘අවසර සහතිකය’ නිකුත් නොකිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණය හමුවට කැඳවාගෙන ගිය නුවන් තුෂාර, තමන් විසින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් සිය සේවා යෝජකයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ. පැවැති වාතාවරණය හමුවේ තමන්ගේ තත්ත්වය පැහැදිළි කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද සිටින වේග පන්දු යවන්නා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ. 

නුවන් තුෂාරගේ සමාව අයැදීම පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු, එය තහවුරු කරමින් කියා සිටියේ වේග පන්දු යවන්නා සමාව ඉල්ලා සිටිමින් විද්යුත් ලිපියක් එවා ඇති බවයි. 

“වෙච්ච දේ ගැන එයා සමාව ඉල්ලලා තියෙනවා. අපිත් ඒ ගැන සලකා බලලා, සුදුසු විදිහට කටයුතු කරනවා” යයි හෙතෙම කියා සිටියේය. 

අධිකරණයට යාමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට සිදු වූ ඕනෑම අපහසුතාවයක් සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවද ලිපියේ සටහන් වී ඇතැයි දැනගන්නට තිබේ. 

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමෙන් පසුව, ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණයට ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වූ නුවන් තුෂාර, සිය සමාව අයැදීමේ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් විසින් ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර ගැනීමට ද කැමත්තෙන් සිටින බවයි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලියේදී තම කණ්ඩායම වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ‘අවසර සහතිකය’ නිකුත් නොකිරිම සම්බන්ධයෙන් නුවන් තුෂාර විසින් ගොනු කරන ලද පැමිණිල්ලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් දින 14 ක කාලයක් ලබා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විරෝධතා ගොනු කිරීම සඳහා අප්‍රේල් 23 වන දින නඩුව නැවත කැඳවීමට ද නියෝග කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් මෙම නඩුවේ විත්තිකරුවන් ලෙසින් නම්කරනු ලැබ තිබිණ.

ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් නිර්දේශ කරන ලද පරිසාධන මට්ටමට පැමිණීය නොහැකිවීම හේතුවෙන් අයි.පී,එල්. තරගාවලිය සඳහා සහභාගිවීමට නුවන් තුෂාරට අනුමැතිය දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රතික්ෂේප කරන ලදි. ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වීම නිසාම වනිඳු හසරංගට සහ මතීෂ පතිරණ දෙදෙනාටත් ‘අවසර සහතිකය’ නිකුත් නොකරන ලද නමුත් අධිකරණයට ගියේ නුවන් තුෂාර පමණි. 

කෙසේ වෙතත් තමන්ගේ ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් දැඩිලෙස අවධානය යොමුකර සිටින නුවන් තුෂාර, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගැනීමටත් කැමැත්ත පළකර සිටී. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වෙත යොමු කරන ලද විද්‍යුත් ලිපිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාටත් පිටපත් කර ඇතැයි වාර්තා වේ. සිය ලිපියෙන් ඔහු අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අධිකරණයට යාම මගින් තමන්ගේ සේවා යෝජකයාව දුෂ්කර තත්වයකට පත් කිරීම කිසි විටෙකත් තම අභිප්‍රාය නොවූ බවයි.

“මෙම ක්‍රියාවලිය පුරාම මගේ එකම අභිප්‍රාය වූයේ වෘත්තීය ක්‍රීඩකයකු වශයෙන් මට හිමිවිය යුතු සාධාරණත්වය සහ යුක්තිය අත්පත් කරගැනීමයි. මේ කාරණයේදී මට අසාධාරණයක් සිදුවී ඇති බව මට සැබවින්ම හැඟී ගියා”

“කෙසේ වෙතත් අධිකරණයට යාම මගින් ගැටුම් ඇති කිරීමට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපකීර්තියක් ඇතිකිරීමට මා බලාපොරොත්තු වූයේ නෑ” යයි නුවන් තුෂාර සිය ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට තිබේ. 


අදහස් (0)

නුවන් තුෂාර සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.