Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවන් තුෂාරටත් සහතිකය අහිමිවෙයි
අයි.පී.එල්. - 2026

නුවන් තුෂාරටත් සහතිකය අහිමිවෙයි

editorial - 2026 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටමට පැමිණිය නොහැකිවීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරටත් මෙවර අයි.පී.එල්. තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. නුවන් තුෂාර මෙවර අයි.පී.එල්. තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (ආර්.සී,බී) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබිණ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද විමසීමකදී එහි උසස්ම නිලධාරියෙක් කියා සිටියේ නියමිත ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් තිදෙනකුට අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීම පිළිබඳ ‘විරෝධතාවක් නොමැත’ යන සහතිකය නිකුත් නොකරන ලද බවයි. වනිඳු හසරංග, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ ඔවුන් තිදෙනා වෙති. 

2026 අයි.පී,එල්. තරගාවලියේදී, වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් පිල වෙනුවෙන් ද මතීෂ පතිරණ කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් ද ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබිණ. මේ අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු අභිෂේක් නයර් මහතා සහතික කර ඇත්තේ මතිෂ පතිරණට අයි.පී.එල්. තරගාවලියේ මුල් කොටස මඟහැරෙන බවයි. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ලෝක කුෂසලාන තරගයේදී පන්දු යවමින් සිටි මතීෂ පතිරණගේ වම් පාදයේ ඇතිවූ මස්පිඬු ඇදීමක් සහ පසුව ඇතිවූ කලව පසුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ඔහු තවමත් සුවය ලබමින් සිටී. 

නුවන් තුෂාර මේ වන විටත් පන්දු යැවීමේ හැකියාවෙන් යුතුව සිටියද ඔහු නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටම සමත්වීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. 
“මේ පරීක්‍ෂණ අපි මාස්පතා කරනවා” 

“ඉදිරියේදී එයාලා මේ පරීක්‍ෂණ වලින් සමත් වුණෙත් එයාලට අයි.පී.එල්. නෙමෙයි ලෝකේ ඕන තැනක ක්‍රිකට් ගහන්න යන්න පුළුවන්. නැතිනම් එයාලා පුද්ගලිකවම තමන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්වලා යන්න පුළුවන්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

නිමාවූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දරුණු පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශය වන්නේ නියමිත ශාරීරික යෝග්‍යතා මට්ටම සනාථ කිරීමට අපොහොසත් වන්නේ නම්, විදේශයන්හි පැවැත්වෙන පෞද්ගලික හිමිකම් සහිත ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වීමට කිසිම ක්‍රීඩකයකුට අවසර නොදෙන බවයි. 

මෙම නියෝගය, අයි.පී.එල්. තරග සඳහා පමණක් නොව, පී.එස්.එල්. (පාකිස්තානය), කැරිබියන් සුපර් ලීග් (බටහිර ඉන්දීය කොදෙව්), බිග් බෑෂ් (ඕස්ටේ්‍රලියාව), බී.පී.එල්. (බංග්ලාදේශය) සහ ද හන්ඩ්‍රඩ් (එංගලන්තය) වැනි තරගාවලි සඳහාත් බලපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. 

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය මාසිකව පැවැත්වෙන බවත්, මින් ඉදිරියේදී මාසික පරීක්‍ෂණ වලට අමතරව අහඹු ලෙස ද ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ පැවැත්වෙන බවත් ඒවායින් සමත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් වාර්ෂික ගිවිසුමට ඇතුළත් වූ සියලුම ක්‍රීඩකයන්ගේ වගකීමක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. 

දුෂ්මන්ත චමීර, දසුන් ශානක, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීමෙන් පසුව අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් ‘විරෝධතාවක් නැත’ සහතිකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාගත් ක්‍රීඩකයෝ වෙති. 


අදහස් (0)

නුවන් තුෂාරටත් සහතිකය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.