
(දමින්ද විජේසූරිය)
නායකයන් කොයිතරම් කයිවාරු ගැහැව්වත් විස්සයි-20 ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව, මේ වන විට, ඉතාමත් අසාර්ථක කණ්ඩායමකි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇද වැටී සිටින ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් වලටය.
පාකිස්තානයේදී පැවැති තුන්කොන් තරගාවලිය පරාජය වීමෙන් පසුව සහභාගි වූ පළමු තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ කඩුලු 6 ක පරාජය වර්ෂාවට ලඝු කළ නොහැකිය. මාස කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව වර්ෂාවෙන් බැට කන නමුත් ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා කාලය ශ්‍රී ලංකාවේ ඊසාන දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන කාලයයි. මෙම ඊසාන දිග මෝසම් වර්ෂාව අනාදිමත් කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නකි.
අහස කළු වළාවෙන් බරවී තියේ නම් කුඩයක් අතැතිව මඟට බසිනවා සේ, කාලය අනුව ඇතිවන දේශගුණික වෙනස්කම් සමගින් ගැලපී ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයි.
ඊසාන දිග මෝසම් සමය වූවත්, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි-20 තරගාවලිය දඹුල්ලට ගෙන ගියේ හේතු සාධක ඇතිවය. කොළඹ නම් කිසිම වර්ෂාවක් නැත. පල්ලෙකැළේත් තරගයකට බාධා වන තරමේ වර්ෂාවක් නැත. එහෙත් මෙම ක්‍රීඩාංගණ දෙකම ලෝක කුසලාන තරගාවලියට සූදානම් කෙරෙමින් තිබෙන බැවින් ශ්‍රී ලංකා - පාකිස්තානු විස්සයි-20 තරගාවලිය දඹුල්ලට ගෙන යාමට සිදුවිය.
“නටන්නට බැරි අයට පොළොව ඇදයි” යයි අපේ පැරණි කියමනක් තිබේ.
තරගාවලිය පැවැත්වෙන්නේ කොතැනද යන්න අදාළ නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය ඉතාමත් ම දුර්වල අඩියක තිබෙන බවට සාධක එමටය.
ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් විස්සයි-20 තරග 6 දී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 95, 128/7, 148/1, 184/5, 114 සහ 128 ක් ලෙසිනි. මේවායින් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 98 ක් ලබාගත් තරගය (148/1) සහ කමිල් මිෂාර ලකුණු 76 ක් ලබාගත් තරගය (184/5) පමණක් ශ්‍රී ලංකා පිල ජයගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ නිළකුණු පන්දු ලකුණක් හෝ දෙකක් බවට පෙරළාගත නොහැකි වීමේ අර්බුදයයි. පාකිස්තානු සංචාරයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ විස්සයි-20 තරග 4 කදී නිළකුණු පන්දු සංඛ්‍යාවන් වාර්තා වූයේ 42, 48, 55 සහ 48කි.
මේවායේ අවම අගය 42 කි. පන්දු 42 ක් යනු ඕවර 7 කි. ඕවර 20 කින් ඕවර 7 ක් නිළකුණු ඕවර වූ කල්හි ප්‍රධාන පුවරුවට ලකුණු කොයින්ද ?
කණ්ඩායම තුළ කිසිදු ස්ථාවරත්වයක් පෙනෙන්නට නැත.
වසර දෙකකට වැඩි කාලයක් සිටි නායකයා හදිසියේම ඉවත් කර ඔහුගේ ස්ථානය දසුන් ශානකට දී තිබේ. දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග දෙදෙනාගේ පන්දු යැවීමත්, පැතුම් නිස්සංක සහ කව්රු හෝ තවත් කෙනෙක් ඉඳහිට අර්ධ ශතකයක් ලබාගත් නමුත් කණ්ඩායම තවමත් වලේමය. “ශ්‍රී ලංකාවේ හොඳම පිතිකරුවා කුසල් මෙන්ඩිස්” යයි බොහෝ දෙනා කියන නමුත් කුසල් මෙන්ඩිස් සිය අවසන් විස්සයි-20 තරග 25 දීම කළ දෙයක් නැත. ඔහුගේ අවසන් විස්සයි-20 අන්තර්ජාතික තරග 25 දීම ලබා ඇත්තේ අර්ධ ශතක තුනක් පමණි. ඒ අතරවාරයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 10 ට අඩුවෙන් දැවී ගිය තරග සංඛ්‍යාවත් 10 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම 2026 ලෝක කුෂලාන තරගාවලියේ දොරකඩට පැමිණ සිටින්නේ මෙවන් තත්ත්වයක් ඇතිවය.
අනෙක් අතට පාකිස්තානය ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයන් හතර දෙනකුට බිග් බෑෂ් ලීග් තරගාවලියට සහභාගි වීමේ අවසරය දෙමිනි. බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන්, ශහීන් ෂා අෆ්රීඩි සහ හාරිස් රවුෆ් සිව් දෙනාම මෙම තරගාවලියේදී පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා නොකරති.
පාකිස්තානු තේරීම් කමිටුව ව්‍යංගයෙන් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බිග් බෑෂ් ලීගයේ පවතින තරගකාරීත්වය ඉහළ මට්ටමක තිබෙන බවද ?
මෙවන් තත්ත්වයක් තිබියදී හෝ අද (11 වැනිදා) දඹුල්ලේදී පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණයක් ලබාගත හැකිවුවහොත් අඩු තරමේ පාකිස්තානය සමගින් පැවැත්වෙන ‘රයිනෝ වි-20’ තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගත හැකිවනු ඇත. එය සැනසීමට කාරණාවක් පමණි.
කෙසේ වෙතත් අන්තර්ජාතික විස්සයි-20 ක්‍රීඩාවේදී කණඩායමක් වශයෙන් හිස් ඔසවාගැනීමට නම් ඊට වඩා බොහෝ දුරක් යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පිතිකරුවන්ට පමණක් නොව, පන්දු යවන්නන්ටත් සිදුවනු ඇත.
fairoos Sunday, 11 January 2026 05:09 PM
ෂම්මි ඉන්නකන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලපල්ලේ තමයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.