
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී එක්දින තරගාවලියකට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවීමේ අරමුණින් හෙට (22 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පිවිසෙයි. එක්දින ක්‍රිකට් ක්‍රීඩාව සහ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇත්තේ විශාල පරතරයක් වුවද, ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකුට තම සුපුරුදු රිද්මය ලබාගැනීම සඳහා මෙම තරගාවලිය ඉවහල් වන බවයි.
“මේ එක්දින තරගාවලියෙන් ලෝක කුසලාන තරගාවලියට කිසිම පිටිවහලක් නොලැබෙන්න පුළුවන්. ඒත් අපේ විස්සයි-20 කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මේ එක්දින කණ්ඩායමේත් ඉන්නවා. මේ තරගාවලිය ඔවුන්ට හොඳ අවස්ථාවක් වේවි”
“අනෙක් අතට මේ තරගාවලියේදී දිගු කාලයක් පන්දුවට පහර දීමට සහ පන්දු යැවීමට අවස්ථාවක් ලැබීමත් අපට බොහෝ විට උපකාරී වේවි” යයි ද චරිත් අසලංක පැවසීය.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ඇත්තේ තවත් දින කිහිපයක් පමණක් බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නන් දෙදෙනකු වන දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබේ. පා දඟ පන්දු යවන වනිඳු හසරංග ද පාදයේ ආබාධයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව නැවත කණ්ඩායමට එක්වී ඇතත් අද තරගයේදී ඔහු ක්‍රීඩා කිරීම අවිනිශ්චිතය.
“ලෝක කුසලාන තරගාවලිය පේන මානයේ තියාගෙන අවදානමක් ගන්න ඕන නෑනේ... මොකද විස්සයි-20 තරග සඳහා අපට ඉන්න හොඳම පන්දු යවන්නා වෙන්නේ වනිඳු” යයි ඒ සම්බන්ධයෙක් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.
ටෙස්ට් නායක ධනංජය ද සිල්වා වසර දෙකකට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඇතුළත් වී සිටී. එහෙත් එක්දින තරග 90 කට සහභාගි වී ඇති ධනංජය මේ දක්වා රැස්කර ඇත්තේ එක්දින අර්ධ ශතක 10 කි. එහෙත් ධනංජය ද සිල්වා එක්දින පිතිකරුවකු ලෙසින් තමන්ට සාධාරණය ඉටුකර නැත.
ශ්‍රී ලංකා නායකයා පවසන්නේ මෙම එක්දින තරගාවලිය ධනංජයට අලුත් ආරම්භයක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඉතාම දක්‍ෂ පන්දු රකින්නකු වශයෙන් මෙන්ම අවස්ථාවෝචිත පන්දු යවන්නකු වශයෙන් ශ්‍රී ලංකා නායකයා මෙන්ම තේරීම් කමිටුවද ධනංජය කෙරේ වැඩි බලාපොරොත්තු රඳවා තිබේ.
පසුපෙළ පිතිකරුවකු වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි වේග පන්දු යවන්නකු වන මිලාන් රත්නායක අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ වැඩි ඉඩක් පවතී. මිලාන් රත්නායක, ලබන වසරේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් කෙරෙන ක්‍රීඩකයෙකි.
එංගලන්ත නායක හැරී බෲක් පවසන්නේ එක්දින වුවත් විස්සයි-20 වුවත්, ලෝක කුෂලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවේදී තරග කිරීමට ලැබීම හොඳ අවස්ථාවක් බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.