Last Update  :  2026-03-31 12:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තහනම් උත්තේජක නිවාරණයට දකුණු ආසියාව එක්වෙයි

තහනම් උත්තේජක නිවාරණයට දකුණු ආසියාව එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණූ ආසියානු කලාපීය තහනම් උත්තේජක නිවාරණ සංවිධානයේ වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල සමුළුව 2016 මේ මස 06 සහ 07 යන දෙදින තුළ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. ඒ සඳහා අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ මූලිකකත්වයෙන් මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතී.

කලාපීය සාමාජික රාජ්‍යයන් වන බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහ නියෝජනය කරන කමිටු සාමාජිකයින්ට අමතරව ලෝක තහනම් උත්තේජක නිවාරණ සංවිධානයේ විශේෂ දූත පිරිසක්ද ස්වාධීන නිරීක්ෂකයින් ලෙස මෙම කමිටු සැසිවාරයට සහභාගිවීමට නියමිතය.

ශ්‍රි ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයට පැවරී ඇති මූලික ව්‍යවස්ථාපිත කාර්යභාරය වනුයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ තහනම් උත්තේජක පරීක්ෂණ කිරීමත්, තහනම් ද්‍රව්‍ය සහ තහනම් ක්‍රම භාවිතයෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව හා වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත්ය.

මෙම ක්‍රියාවලියේදී එම ආයතනය මුහුණදෙන වඩාත්ම දුෂ්කර ගැටළුවක් වනුයේ තහනම් උත්තේජක පරීක්ෂණ කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීම සඳහා අවශ්‍ය නිසි පුහුණූව ලත් පළපුරුදු උත්තේජක පරීක්ෂණ පාලන නිලධාරීන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් දිවයින තුළ මේ වන විටත් නොමැති වීමයි. එවැනි පුහුණූව ලත් නිලධාරීන් දැනට මුළු රටේම සිටිනුයේ අතැඟිලි ගණනටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණක් වන අතර, ඒ සුළු පිරිසද අගනගරය තුළ කේන්ද්‍රගතවී සේවය කරති.

එබැවින් පවතින මෙම ගැටළුවට විකල්ප විසදුමක් සොයාගනු වස් නව උත්තේජක පරීක්ෂණ පාලන නිලධාරීන් 20 දෙනෙකු අලුතින් පුහුණු කිරීමටත්, අනතුරුව ඔවුන් ප්‍රාදේශීය මට්ටමින් දීපව්‍යාප්තව සේවයෙහි යෙදවීමටත් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය අදහස් කරගෙන සිටී.

මෙම නිලධාරීන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහන 2016 නොවැම්බර් මස 16, 17 සහ 18 යන දිනවල කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව, ඉහත වැඩසටහන්වලට සමගාමීව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයට අනුබද්ධ විනය පරීක්ෂණ සහ අභියාචනා කමිටුවල සේවය කරන සාමාජික මහත්ම, මහත්මීන් සඳහා වන ප්‍රතිඵල කළමනාකරණය පිළිබඳ විශේෂ වැඩමුළුවක්ද 2016 නොවැම්බර් මස 19 සහ 20 යන දෙදින තුළ වැල්ලවත්ත මිරා හෝටලයේදී පැවැත්වේ.

මෙම උත්තේජක පාලක පරීක්ෂණ නිලධාරීන් පුහුණු කිරීමේ තෙදින වැඩසටහන මෙන්ම ප්‍රතිඵල කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවද එක්සත් රාජධානියේ සිට පැමිණෙන බ්‍රිතාන්‍ය තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ පළපුරුදු හා සුදුසුකම්ලත් විශේෂඥ පුහුණු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහෙයවීමට නියමිතය.

සමස්ත ක්‍රීඩා ලෝකයම සලකා බලන විට, තහනම් උත්තේජක භාවිතයට වරදකරුවන් වී නීතියෙන් දඬුවම් ලබන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිළිබඳ වාර්තා වන සිදුවීම් සංඛ්‍යාව දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යයි. ඒ හේතුවෙන් තහනම් උත්තේජක පිළිබඳ මාතෘකාව අන්තර්ජාතික ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් කථාබහට ලක්වන මාතෘකාවක් වී තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බලන විටද මෙම තත්ත්වයෙහි අඩුවක් හෝ වෙනසක් නොමැත්තේ 1999 සිට මේ දක්වා ගෙවී ගිය කෙටි කාලය තුළ එවැනි තහනම් උත්තේජක මර්දන නීති රීති උල්ලංඝනය කිරීමට අදාළව චෝදනා එල්ලවූ සහ ඊට වැරදිකරුවන් වී දඩුවම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 50 සීමාවද ඉක්මවා ගොස් ඇති බැවිනි.

උත්තේජක මර්දන නීති රීති උල්ලංඝනය කිරීමට අදාලව වඩාත්ම සුලභව වාර්තාවන වරද වනුයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලෝක තහනම් උත්තේජක සංවිධානයේ වාර්ෂික තහනම් ද්‍රව්‍ය ලැයිස්තුවේ අන්තර්ගත තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන් ඔවුන්ගේ මුත්‍ර නියැදි වල තහනම් උත්තේජක සංඝටක තිබෙන බව හෙළිදරව් වීමයි.  එබැවින් මෙම ගැටළු සහගත උවදුර පාලනය කිරීම උදෙසා වඩාත් විධීමත්, කාර්යක්ෂම හා උපායශීලී පරීක්ෂණ සහ වැලැක්වීමේ ක්‍රියාන්විතයන් කඩිනමින් කියාවට නැංවිය යුතුව තිබේ.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2013 අංක 33 දරණ ක්‍රීඩාවේදී තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනුයේ ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධීත ආයතනයක් වශයෙනි.

ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ බලයලත් එකම ස්වදේශික නියෝජිත ආයතනය වෙමින් එහි අරමුණු, පරමාර්ථ හා නීති මෙරට තුළ බලාත්මක කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටින එය තහනම් උත්තේජක භාවිතයෙන් තොර පිවිතුරු ක්‍රීඩාවක් ලක් දෙරණ තුළ ස්ථාපිත කිරීමේ තිරසාර අදිටනින් යුතුව නිරතුරුවම කැපවී, වෙහෙසී කටයුතු කරයි.

උත්තේජක මර්දන ක්‍රියාවලියෙහිලා සුවිශේෂී අංගයක් ලෙස ගැනෙන උත්තේජක මර්දන නීති රීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ චූදිතයින් පිළිබඳ විනයානුකූල පියවර ගැනීමේ කාර්ය පටිපාටියට අදාළව දැනට උද්ගතවී තිබෙන නව ජාත්‍යන්තර ප්‍රවණතාවයන් පිළිබඳ නිවැරදි දැනුමක්, අවබෝධයක් හා වැටහීමක් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ට ලබා දීම මෙම ප්‍රතිථල කළමනාකරණය පිළිබඳ පැවැත්වෙන වැඩමුළුවෙහි මූලික පරමාර්ථයයි.

එමගින් අනාගතයේදී එම නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවල ගුණාත්මකභාවය සහ ඵලදායීතාවය වඩාත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

 


අදහස් (0)

තහනම් උත්තේජක නිවාරණයට දකුණු ආසියාව එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.