සෙරීනා විලියම්ස්ගේ සහ සර්බියාවේ නොවැක් ජොකෝවික්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ උණුසුම ඉහළ නගිද්දී නයෝමි ඔසාකා සහ එලීනා ස්විටෝලිනා පරාජයේ ආගාධය පෙනි පෙනී යන්තම් බේරෙමින් අවසන් 16ට එක්වීමට සමත්වූහ.
14 වතාවක් ග්රෑන්ඞ් ස්ලෑම් කුසලාන දිනූ නොම්මර එකේ ක්‍රීඩක ජොකෝවික් මේ හඹා යන්නේ සිය හත් වැනි ඔස්ටේ්රලියානු ශූරතාවයි. ඉතා වේගයෙන් දස්කම් අතින් ඉහළට නැගුණු කැනඩාවේ ඩෙනිස් ෂපොවාලොව් හමුවේ ජොකොවික් එක් තරග කට්ටලයක් පරාජයට පත්වූයේ මේ වසරේ පළමු වතාවටය. නමුත් අවසානයේදී ලකුණු 6-3 ක්, 6-4 ක්, 4-6 ක් සහ 6-0 කින් ඩෙනිස් පරාජයට පත් කරමින් අවසන් 16ට එක්වීමට ජොකොවික් සමත් වූයේය.
“මම උත්සාහ කළේ ඒ මොහොතේ පවතින සුළං සහිත කාලගුණයට අනුගතව ක්‍රීඩා කිරීමටයි” දිවා හිරු රැස් පතිතවූවත් රූපවාහිනි කැමරාකරණයට අවශ්‍ය නිසා රොඞ් ලීවර් පිටියේ විදුලි ආලෝක දැල්වීමෙන් තරමක් අපහසුතාවට පත්වූ මේ සර්බියානුවා කීවේය.
“ලයිට් දැමීම කිසිම තේරුමක් නෑ” යයි ඔහු තරග සංවිධායකයන්ට බැණ වැදුණේය.
මේ ජයග්රහණයෙන් ජොකෝවික් අත්පත් කරගත්තේ 16 දෙනා අතරට රිංගා ගැනීම පමණක්ම නොවීය. තරගාවලියෙන් පසුව නවතම ශ්‍රේණිගත කිරිම් නිකුත් කළත් තව දුරටත් ඔහුට නොම්මර එකේ ක්‍රීඩකයා ලෙස වැජඹීමටත් මේ ජයග්‍රහණය ප්‍රමාණවත් විය. ඔහු ඊළගට ක්‍රීඩා කරන්නේ ශ්‍රේණිගත කිරීම් අතරේ 15 වැනි තැන සිටින රුසියාවේ ඩැනියෙල් මෙඞ්වෙඩෙව් ට එරෙහිවය.
මේ අතර කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින ජපානයේ නයෝමි ඔසාකා තායිවානයේ ප්‍රවීණ ක්‍රීඩිකාවක වන සයි සූ වයි හමුවේ බේරුණේ නූලෙනි. ඇය මුල් භාගයේ සිටම පරාජයේ ආගාධයට වැටී සිටියත් අන්තිමේදී අවසන් 16 අතරට සේන්දුවීමට සමත්වූයේ ලකුණු 7-5 ක්, 4-6 ක් සහ 6-1 ක් ලෙස තායිවාන ක්‍රීඩිකාව ගෙදර යවමිනි.
ඔසාකාගේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් පිටියේ ඇගේ ඉහළම දස්කම සම කිරිමක් ද විය. ඇය පසුගිය වසරේදිත් අවසන් 16 දෙනා අතරට රිංගා ගැනීමට සමත්වූවාය. එවර අවසන් 16 දී ඇය පරාජයට පත්වූයේ සිමෝනා හීල්ප් අතිනි.
වරින් වර උරහිසේ හටගත් දරුණු වේදනාවකින් පෙළෙන්නට වීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ක්‍රීඩා කළ එලීනා ස්විටෝලිනා අද අවසන් 16ට එක්වූයේ චීනයේ ෂැං ෂුයි හමුවේ පුදුම බේරිල්ලකින් පසුවය.
“තරගයට කළින් මම මටම කියාගත්තා මේක පැවතීම හා නැතිවීම අතර තරගයක් කියලා” කෙසේවෙතත් අන්තිමේදී ලකුණු 4-6ක්, 6-4ක් සහ 7-5කින් තරගය ජයගත් ස්විටෝලිනා කීවාය.
(සැකසුම : මොහාන් ප්‍රනාන්දු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.