
(දමින්ද විජේසූරිය)
අවසන් ඕවරයේදී පන්දු 5 කින් ලකුණු 22 ක් උදුරාගත් දුනිත් වෙල්ලාලගේ කළ වික්‍රමාන්විත පිතිහරඹය නිසා එංගලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 271 ක් ලබාගත්තේය.
අවසන් ඕවරයේදී මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් ගැසූ වෙල්ලාගේ, පන්දු හතරක් ඉතිරිව තිබියදී ශතකය ලබාගැනීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස්ට පිරිනැමුවේය. එහෙත් මෙන්ඩිස් මුහුණ දුන් ඊළඟ පන්දුවෙන් ලබාගත්තේ එක ලකුණකි.
ඉතිරි පන්දු 4 න් තුනක්ම අලංකාර පහර තුනකින්, හතරේ සීමාවෙන් එපිටට යැවූ වමත් පිතිකරුවා අවසන් පන්දුවෙන් තවත් ලකුණු 02 ක් ලබාගත්තේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 270 න් ඔබ්බට ගෙන යමිනි.
ශ්‍රී ලංකා ඉනිම පුරාම එහි බර දරාගත් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93 ක් ලබාගත් නමුත් ඔහුගේ පිතිහරඹයේ වටිනාකම ලකුණු වලින් කියැවෙන අගයට වඩා ඉහළය. ජනිත් ලියනගේ (46) හැරෙන්නට අනෙක් සියලුම පිතිකරුවන් ඉන්තම් ඉලක්කම් දෙකක අගය පසුකිරීමෙන් පසුව දැවී ගියහ. එහෙත් කුසල් මෙන්ඩිස් (36) සහ ජනිත් ලියනගේ (46) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවූ ලකුණු 88 ක සම්බන්ධතාව, ශ්‍රී ලංකා ඉනිම කඩාවැටීමට නොදී රඳවාගත් කොන්ක්‍රීට් තට්ටුවක් මෙන් විය.
පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමක් වන එංගලන්තයට තරගයක් දීම සඳහා මෙම ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් වෙතොත්, ඒ දඟ පන්දු යවන්නන් හමුවේ එංගලන්ත පිතිකරුවන් දක්වන දුර්වලතා හේතුවෙනි. 2008 සිට 2013 දක්වා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ ග්‍රැහැම් ස්වෝන්ගෙන් පසුව එංගලන්තයෙන් සාර්ථක දඟ පන්දු යවන්නකු බිහි නොවීය. එබැවින් ජෝ රූට් හැරුණු විට එංගලන්ත පිතිකරුවන් අතරේ දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන පිතිකරුවන් සොයාගැනීම අපහසු කාරණාවකි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේ එය පිතිකරුවන්ට කදිම තණතීරුවක් වූ බැවිනි.
පකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරග තුනකට පසුව තවත් විස්සයි-20 තරගාවලියක් සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සිතමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉනිම ආරම්භයේදීම තිබුණේ ඕවර 50 ක් පුරා සිය කඩුලු රැකගැනීමේ අභියෝගයකි. එබැවින් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය තරමක් මන්දගාමී විය.
ප්‍රහාරාත්මක ඕවර 10 නිමා වන විට ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 49 කි. එම කාලය තුළ යැවුණු පන්දු 60 න් පන්දු 37 ක් නිළකුණු පන්දු ලෙසින් සටහන් වී තිබිණ. හයවැනි ඕවරයේදීම පන්දුව අතට ගත් ලයාම් ඩෝසන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තිබූ මහත්ම හිසරදය විය. තමන්ගේ 6 වැනි ඕවරය නිළකුණු ඕවරයක් ලෙසින් සටහන් කළ ඩෝසන් දවාගත්තේ එක කඩුල්ලක් වන නමුත් ඔහු යැවූ පන්දු 60 න් පන්දු 41 ක් නිළකුණු පන්දු විය.
එංගලන්ත දඟ පන්දු යවන්නන් තිදෙනා වූ ලයාම් ඩෝසන්, අදිල් රෂීඩ් සහ රෙහාන් අහමඩ් එක්ව ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කරගත්හ. මේ තිදෙනා අතරේ බෙදී ගිය ඕවර 30 දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 136 කි.
එංගලන්ත කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන නෝමන් ගිෆර්ඩ්ගේ අභාවය වෙනුවෙන් සහ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වූ ඩේවිඩ් කොලියර් මහතාගේ අභාවය වෙනුවෙන් එංගලන්ත ක්‍රීඩකයෝ කළු පටි පැළඳ ක්‍රීඩා කරති.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.