
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා ෆුට්සාල් පාපන්දු තරගාවලියේ ඊයේ (15 වැනිදා) පැවැති තරගයකදී ගෝල 3-2 ක් ලෙස ශ්රී ලංකාව පරාජය කිරීමට පාකිස්තානය සමත් විය.
තරගයේ 10 වැනි විනාඩියේදී ශ්රී ලංකා කණ්ඩායමේ දිල්ෂා වාද්දුවගේ අත්වැරදීමකින් සිය දැල වෙතම පන්දුව යොමුකිරීම හේතුවෙන් පාකිස්තානය ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහෙත් 19 වැනි විනාඩියේදී තර්මිකා සිවනේස්වරන් ශ්රී ලංකාව වෙනුවෙන් ලබාගත් ගෝලයත් සමග පළමු අර්ධය නිමාවට පත්වන විට ගෝල 1-1 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවිය.
දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 2 ක් ගතවන විට එනම් 22 වැනි විනාඩියේදී පාකිස්තානය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට අස්වා චෞද්රි සමත් වුවද, එම විනාඩියේදීම ශ්රී ලංකාව වෙනුවෙන් දිල්ෂා වාද්දුවගේ වාර්තා කළ ගෝලයත් සමග නැවතත් ගෝල 2-2 ක් ලෙස තරගය සම තත්වයට පත් විය.
කෙසේ වුවත් තරගය නිමාවීමට විනාඩි 2 ක් ඉතිරිව තිබියදී එනම් 38 වැනි විනාඩියේදී අස්වා චෞද්රි ලබාගත් දෙවැනි ගෝලයත් සමග තරගයේ ජය ගෝල 3-2 ක් ලෙස පාකිස්තානය සතු විය. මෙම තරගයේදී පාකිස්තානයේ අන්මෝල් හීරා සහ ශ්රී ලංකාවේ දිල්ෂා වාද්දුවගේ විනිසුරුගේ කහ කඩ්පත් ලබා පිටියෙන් ඉවත්ව ගියහ.
තරගාවලියේ සමාරම්භක දිනය වූ ඉකුත් අඟහරුවාදා (13 වැනිදා) නේපාලයට එරෙහිව පැවැති තරගය ගෝල 2-2 ක් ලෙස සමව අවසන් කර ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ. ශ්රී ලංකාව වෙනුවෙන් එම තරගයේ 2 වැනි විනාඩියේදී තර්මිකා සිවනේස්වරන්ද, 25 වැනි විනාඩියේදී තරින්දි වැල්විටද ගෝල ලබාගත්හ.
මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් ක්රමයට අනුව පැවැත්වෙන අතර තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුනේ රැදී සිටින කණ්ඩායම එහි ශූරියන් බවට පත්වනු ඇත.
එහිදී ශ්රී ලංකා ක්රීඩිකාවන් සහභාගි වන සෙසු තරග 19 වැනිදා භූතානයට එරෙහිවත්, 21 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, 23 වැනිදා මාලදිවයිනට එරෙහිවත්, 25 වැනිදා ඉන්දියාවට එරෙහිවත් පැවැත්වෙනු ඇත. 17 වැනිදා සෙසු කණ්ඩායම් සඳහා තරග පැවැතියද ශ්රී ලංකා ක්රීඩිකාවන්ට විවේකී දිනයක් බවට පත්වනු ඇත.


- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.