දැනට පවතින අස්ථාවර ආරක්‍ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත සියලුම ක්‍රීඩා තරග සහ පුහුණු පාඨමාලා තවත් සති කිහිපයට ප්‍රමාද කරන මෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සංගම් සහ තරග සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. පසුගිය ඉරිදා ස්ථාන 8 කදී සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් 250 කට වැඩි දෙනෙක් මියගිය අතර 500 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
පසුගිය ඉරිදා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරග ගණනාවක්ම අවලංගු කරන ලද අතර අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ (පළමු සතියේ) තරග කල්දැමීමටද ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගත්තේය.
ඊට අමතරව ජාතික වයස් සීමා සහාය පිහිනුම් තරගාවලියද කල්දමන ලදි. ඊයේ (27 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ මෙම වයස් කාණ්ඩ සහාය පිහිනුම් තරගාවලිය මැයි මස 11 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
මේ වන විට මුළු රටම කිසියම් අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින හෙයින් ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ක්‍රීඩා තරග සංවිධානය කිරීම සඳහා ආරක්‍ෂක සහතිකයක් ලබාගත යුතු බවයි.
“මේ වගේ තත්ත්වයකදී ක්‍රීඩා තරගයක් හෝ තරගාවලියක් සංවිධානය කිරීම අනුමත කරන්න බෑ. මොකද ඒක තරගයක් වුණත්, තරගාවලියක් වුණත්, නරඹන්නන් හැටියට එතැනට කිසියම් පිරිසක් ඒකරාශී වෙනවා”
“ආරක්‍ෂක තත්ත්වය වඩාත් හොඳ මට්ටමකට එන්නේ නැතිව, මේවා අනුමත කරන්න බෑ. ඒ නිසා තවදුරටත් මිනිසුන් ඉලක්ක විම වැළැක්වීමට නම් මේ වෙලාවේ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි” යයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
පසුගිය ඉරිදා පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගවලියද බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් අතරමග නතර කරන ලදි. එහෙත් තරගාවලිය එක්වරම නතර කිරීමෙන් නරඹන්නන් සහ වාහන විශාල සංඛ්‍යාවක් එකවර දියතලාව නගරට රොක්වීමෙන් ඇතිවියහැකි තදබදය මෙන්ම අනවශ්‍ය පීඩනය නතර කිරීමට මෙන්ම ත්‍රස්තවාදීන්ට පහසු ඉලක්කයක් නොදීමටත් සූක්ෂම ලෙස උපායශීලී වූ ෆොක්ස් හිල් සංවිධායකයෝ ක්‍රමානුකූලව නරඹන්නන්ගේ උනන්දුව හීන කරමින් තරගාවලිය නතර කළහ.
21 වැනිදා උදෑසන නුවරඑළියේදී පැවැත්වීමට නියමිතය තිබූ තුරඟ තරගාවලිය එකම තරගයක් හෝ නොපවත්වාම අතහැර දමන ලදි.
ලෝක කුසලාන තරගාවලියට යාම සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මාදුරුඔය විශේෂ බලකා කඳවුරේදී සහ දඹුල්ලේදී සංවිධානය කරන ලද පුහුණු කඳවුරු අවලංගු කරන ලදි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 7 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වැනි ලෝක කුසලාන තරගය ජූනි 1 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වේ.
“ක්‍රීඩා තරග සංවිධානය කිරීම අපට නවත්වන්න බෑ. ඒත් පවතින තත්ත්වය අනුව ඒ තරග පවත්වන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද කියා විමසා බලන එක ඒගොල්ලන්ට අයත් කාර්යයක්. ක්‍රීඩා අමාත්‍යංශය හැටියට අපි කියන්නේ ජාතික ක්‍රීඩා සංගම් මේ තත්ත්වය ගැන විමසිල්ලෙන් ඉඳලා තරගාවලියක් සංවිධානය කිරීමට පෙර ඒ සඳහා සුදුසු තත්ත්වයක් තියෙනවාද කියන එක ගැන තීරණයක් ගත යුතුයි” යයි ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත් පතට පවසා තිබිණ.
ක්‍රීඩා තරග පැවැත්වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය හෙට (සඳුදා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. එහෙත් ධම්මික මුතුගල මහතා කීවේ 2019 ජාතික ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික් තරග නියමිත පරිදි පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් ලබන සතියේදී පැවැත්වීමට නියමිත තරග සම්බන්ධයෙන් තවමත් තීරණයක් නැත.
“ජාතික ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග, පාපැදි තරග, එල්ලේ සහ බැඞ්මින්ටන් තරග නියමිත පරිදි මැයි මස 23, 24 සහ 25 දිනවල අනුරාධපුරයේදී පැවැත්වෙනවා. ඒත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙක් තරග ගැන දැන්ම කිසිවක් කියන්න තරම් වේලාසන වැඩියි”
“ජාතික ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ක්‍රීඩා ලේකම්වරුත් එක්ක රැස්වීමක් මැයි 7 වැනිදා පැවැත්වෙනවා. ඊට පස්සේ මේ ගැන තීරණයක් ගන්න පුළුවන්” යයිද මුතුගල මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණ.
කටාරයේදී පැවැති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් විදූෂා ලක්ෂාණිගේ දස්කම් පාස්කු දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් යටපත්ව ගියේය. මීගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ බෝම්බ පිපිරීම හේතුවෙන් විදූෂාගේ ගුරුවරියන් කිහිප දෙනෙක් මෙන්ම ඥාති හිතවත්තු කිහිප දෙනෙක්ද මියගියහ. ඇය මීගමුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර මැයි මස 1 වැනිදා සහ 4 වැනිදා මලයාසියාවේදී පැවැත්වීමට නියමිත පුහුණු තරග දෙකේ වෙනසක් නොවන බව ශ්‍රී ලංකා රග්බි සංගමය කියයි. එහෙත් වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු කඳවුරක් අවලංගු කරන ලදි.
අප්‍රේල් 22-24
අප්‍රේල් 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.