Last Update  :  2026-04-30 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය

editorial - 2026 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීම පිළිබඳව, ඉරාන් වික්‍රමරත්න මහතා විසින්, සිය සම්බන්ධීකරණ නිලධාරිනියක ඔස්සේ පහත සඳහන් ප්‍රකාශය නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සභාපතිත්වය දැරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මට ආරාධනා කරන ලදී. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඊයේ (අප්‍රේල් 29 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි එම වගකීම භාර ගැනීමට මම තීරණය කළෙමි.

නිර්මල ප්‍රතිරූපයක් සහ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයන් 9 දෙනකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම මා ලද මහත් ගෞරවයකි. රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ටර්, උපුල් කුමාරප්පෙරුම, ඩිනාල් පිලිප් යන මහත්වරුන්ගේ සහ අවන්ති කොළඹගේ මෙනවියගෙන් සමන්විත මෙම කණ්ඩායම, ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීතිමය ප්‍රවීණතාවේ දුර්ලභ සංකලනයක් නියෝජනය කරයි.

අපගේ කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වන්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවේ අභිමානය සහ දක්ෂතාවය යළි ස්ථාපිත කිරීමයි. පහත සඳහන් ප්‍රධාන කුළුණු දෙක ඔස්සේ අපි එම දැක්ම සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙමු:

 

1. ප්‍රශස්ත පාලනය නංවාලීම
අපගේ මූලික ප්‍රමුඛතාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙහි මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යව්‍යස්ථාව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමු. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ෂක්‍ක්‍) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාවය, දූෂණ විරෝධය සහ ව්‍යෘත්තීයවේදීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පදනමට බද්ධ කිරීමට අපි කැපවී සිටිමු. දක්ෂතාවට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම් සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැඟීම අපගේ අරමුණයි.

2. පිටිය තුළ විශිෂ්ටත්වය
පරිපාලනමය විශිෂ්ටත්වය යනු ක්‍රීඩක දක්ෂතාවල පදනමයි. ජාතික කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේද සැකසීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ක්‍රීිඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදා දෙමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම තලයට යළි රැගෙන ඒමයි.

පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයකු ලෙස මෙන්ම ඉන් පසුවත් මම ක්‍රිකට් ක්‍රිඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූයෙමි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් මඟට හැරවීමට නායකත්වය දීමට ලැබීම මා ලද භාගයයක් වන අතර මම එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකමි.

මෙරට සුවහසක් ක්‍රීිඩා ලෝලීන්ගේ සහයෝගය සහ නිර්මාණාත්මක විවේචන මම අපේක්ෂා කරන අතර, ඔබගේ ඉමහත් උද්යෝගයට සාධාරණයක් ඉටු කරමින් තිරසාර ප්‍රතිඵල ලබා දීමට මම ප්‍රතිඥා දෙමි.


 ඉරාන් වික්‍රමරත්න -- 2026 අප්‍රේල් 30

- 213


අදහස් (0)

ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.