ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී චෙක් රාජ්‍යයේ පෙට්රා ක්විටෝවාට එරෙහිව 7-6 ක්, 5-7 ක් සහ 6-4 ක් ලෙස ජය අත්කර ගත් ජපානයේ නයෝමි ඔසාකා පිට පිට ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන දෙකක් දිනා ගනිමින් අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල නොම්මර එකේ අලුත්ම ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඒ සමගම ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනූ පළමු ජපාන ක්‍රීඩිකාව බවටත් ඇය පත්වූවාය.
පසුගිය වසරේ අවසාන භාගයේ පැවැති අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ ජයගත් 21 හැවිරිදි ඔසාකා මෙල්බර්න් ටෙනිස් පිටියේ අලුත්ම තරුව වී තිබේ. වසර 2015 දී සෙරීනා විලියම්ස් පිට පිට ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන දෙකක් දිනාගැනීමෙන් පසුව එවැනි දස්කමක් පෑ ලොව පළමු ක්‍රීඩිකාව ලෙසත්, වසර 2001දී ජෙනිෆර් කැප්රියාටිගෙන් පසුව කෝඩුකාරියක් ලෙස පිට පිට ග්‍රැන්ඞ් ස්ලෑම් කුසලාන දෙකක් දිනාගත් පළමු අවස්ථාවත් වාර්තා කරමින් ඔසාකා ටෙනිස් වාර්තා පොත නැවත ලියැවූවාය.
රුමේනියාවේ සිමෝනා හීල්ප් සති 48ක් පුරා රැකගෙන සිටි අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන උදුරාගත් නයෝමි ඔසාකා ලෝක ටෙනිස් පිටියේ නොම්මර එක අත්කරගත් පළමු ආසියාතික ක්‍රීඩිකාව ලෙස තවත් වාර්තාවක් තැබුවාය. එපමණක් නොව වසර 2010දී ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි 20 හැවිරිදි වියේදී ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩිකාව බවට පත්වීමෙන් පසුව නොම්මර එකට පත්වූ ළාබාලතම ක්‍රීඩිකාව ලෙසත් නයෝමි මේ වාර්තා ලියා තැබීමට ලෝක ටෙනිස් වාර්තාපොතේ වෙනම පිටුවක් වෙන් කරගත්තාය.
කුසලානය අතට ගැනිමෙන් පසුව ක්‍රීඩාලෝලින් අමතමින්, පළමුව තමා කතාවට එතරම් දක්ෂ නොමැතිබව කියමින් කනගාටුව පළ කළ ඔසාකා ඊළගට මෙසේ කීවාය.
“පෙට්රාට මුලින්ම ස්තූති කළ යුතුයි”
“මට නිතරම උවමනා වුණේ ඔබ සමග තරග වදින්නයි. ඒ වගේම ඔබ සමග තරග වැදීම මට ගෞරවයක්” යයි සියල්ලට පෙර ඇය තම ප්‍රතිවාදිනියට කෘතවේදිත්වය පිළිගැන්වීම කාගෙත් පැසසුමට හේතුවිය.
මීට මාස කිහිපයකට පෙර නිව්යෝක් නුවරදී සෙරීනා විලියම්ස් පරදවා සිය මංගල ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනාගත් නයෝමි ඔසාකා මෙල්බර්න් නුවරදී ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීම දැකබලා ගැනීමට ක්‍රීඩාලෝලිහු 15,000 කට අධික පිරිසක් රොඞ් ලීවර් පිටියට රැස්ව සිටියහ.
(සැකසුම : මොහාන් ප්‍රනාන්දු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.