Last Update  :  2026-01-17 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඔලිම්පික් නිලවරණයට පෙර විමර්ශන එළියට

ඔලිම්පික් නිලවරණයට පෙර විමර්ශන එළියට

editorial - 2026 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාවේ කටයුතු කළ හිටපු නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයන්හි තීරණ කමිටුවේ මීළග නිලවරණය කැදවීමට පෙර ප්‍රසිද්ධ කරන බව එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව ශ්‍රී ලංකාවට උපදෙස් ලබාදී තිබෙන පරිදි අප්‍රේල් මාසයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය පවත්වා අවසන් කිරීමට තමන් වග වන බවත් එහිදී ඔහු පැවැසීය.

කමිටුවේ මීළගට කැඳවෙන නිලවරණය  (2025 -29) සදහා අප්‍රේල් මාසය තුළදී නිර්දේශ කළ දින තුනක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය සදහා ඔවුන්ගේ  අවධානයට යොමු කරන බවත් ඔහු පවසයි. ඒ ශ්‍රී ලංකාවේ නිලවරණය නිරික්ෂණය කිරීමට පැමිණෙන එහි නිලධාරීන්ට වඩාත් පහසු දිනයක් ඒ සදහා තෝරා ගැනීම සදහාය. ඒ අතර නිලවරණය සූදානම් කිරීම සදහා වන කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමක් නුදුරේදී කැඳවීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මීළගට යෙදී තිබෙන නිලවරණය (2025 -29) ලබන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පවත්වා අවසන් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් දැනුම්දී තිබුණි. ඒ සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඒ පිළිබදව කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

ජාතික ඔලිම්පික් කමිටුවේ 2021 - 25 විධායක සභාවේ නිල කාලය පසුගිය දෙසැම්බර් 27 වැනිදා නිල වශයෙන් අවසන් වීමෙන් පසුව උද්ගතව තිබෙන තත්වය හමුවේ සුබ්‍රමනියම් මහතා එම විමසුම කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ලංකාදීප ය කළ විමසුමකදී ඔහු පැවැසුවේ පසුගිය සදුදා (12) ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් සභාව විසින් නිකුත් කළ නිවේදනයට අනුකූලව යමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය පවත්වා අවසන් කිරීමට තමන් වග වන බවයි.

අප්‍රේල් මාසයේදී නිලවරණය පවත්වා අවසන් කිරීමේ උත්සහයක් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාවේ කටයුතු කරමින් සිටියදී දූෂණ චෝදනා ලැබීමෙන් මේ වන විට අභ්‍යන්තර විමර්ෂණයකට ලක්ව සිටින හිටපු නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව එම විමර්ෂණ කටයුතු කඩිනම් කෙරේ.

චෝදනාලාභී නිලධාරීන් මේ වන විට තනතුරු වලින් ඉවත් කර තිබෙන අතර හිටපු මහ ලේකම්වරයා හැරෙන්නට ඉන් දෙදෙනෙකු කමිටුවේ කටයුතු කළ උප සභාපතිවරුන්‍ වේ. සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසන්නේ ඔවුන් විසින් හා විධායක කමිටුවේ නොවන තවත් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බවයි.

ඔවුන් සම්බන්ධයෙන් කමිටුව  අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතරම එහි ආචාර ධර්ම කමිටුව විසින්ද ඔවුන් සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් වැඩිදුරටත්  වාර්තාවේ. කමිටුවේ විදෙස් තරග සංචාර වලට සහභාගිවීමේදී ඔවුන් අනුමත දීමනා ඉක්මවා ලබා ගත් බවට මෙම විමර්ෂණ වලදී චෝදනා ලබා තිබේ.එහෙත් එම චෝදනා අදළ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරයේ අඛණ්ඩතාව සහ කීර්තිය ආරක්‍ෂා කරන අතරම, විනිවිදභාවය යහපාලනය සහ  ක්‍රීඩකයින්ගේ යහපත ආරක්ෂා කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම යළි තහවුරු කරමින් ලබන අප්‍රේල් මාසය අවසන්වීමට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය පවත්වා අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි එම කමිටුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.


අදහස් (0)

ඔලිම්පික් නිලවරණයට පෙර විමර්ශන එළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.