Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එල්.පී.එල්. අත්දැකීම් ජයග්‍රහණයට වැදගත් වුණා
ආසියානු කුසලාන

එල්.පී.එල්. අත්දැකීම් ජයග්‍රහණයට වැදගත් වුණා

editorial - 2022 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

රහ්මතුල්ලා ගුර්බාස් සහ නවීන් උල්හක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් ලබාගත් අත්දැකීම් මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් වූ බව ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නායක මෙහොමඩ් නබී පවසයි. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටි‍යේය.

රහ්මතුල්ලා ගුර්බාස් පසුගිය වසර දෙකේදීම එල්.පී.එල්. තරගාවලියේ යාපනය කණ්ඩායමට ක්‍රීඩා කළ අතර නවීන් උල්හක් 2020 වසරේදී මහනුවර කණ්ඩායමටද, 2021 වසරේදී කොළඹ කණ්ඩායමටද ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙනො වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ පසුගිය වසර ‍දෙකේදී ක්‍රීඩා කළේද යාපනය කණ්ඩායමටය.

“ගුර්බාස් සහ නවීන් මේ දක්වා පැවැති එල්.පී.එල්. තරගාවලි දෙකටම ක්‍රීඩා කළා. එහිදී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග එක්ව ක්‍රීඩා කරලා ලබාගත්ත අත්දැකීමේ ‍අපට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන්න හුඟක් උපයෝගී වුණා. තරගයට පෙර පැවැති කණ්ඩායම් රැස්වීම්වලදී ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තා.” යැයි එහිදී නබී පැවසීය.

“අපේ ආරම්භක පිතිකරුවන් හුඟක් හොඳ ආරම්භයක් ලබාදුන්නා. මේ තරගයට විතරක් නෙමේ මුලු තරගාවලියටම. ඒ ආරම්භය නිසා ලොකු ශුද්ධ ලකුණු වේගයක් එක්ක මේ තරගය ජයගන්න අපිට පුළුවන් වුණා. ෆරූකි කියන්නේ දක්ෂ පන්දු යවන්නෙක් ඔහු පළමු ඕවරයේදී දවාගත් කඩුලු 2 නිසා තමයි අපිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න පුළුවන් වුණේ.” යැයිද නබී සඳහන් කළේය.

ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඔසවා පොළොවේ ගැසූ ෆසාල්හක් ෆකූරි, පළමු ඕවරයේ අවසන් පන්දු දෙකේදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් (2) සහ උප නායක චරිත් අසලංක (0) පිටියෙන් ඉවත් කළේය. ඉන් නොනැවතුණ ඔහු, ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි ඕවරය නිලකුණ ඕවරයක් බවට පත් කරමින් කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 31 ක් ලබා සිටි චාමික කරුණාරත්නද පිටියෙන් ඉවත් කළේය.

වේගවත් ආරම්භයක් ලබාගත් රහ්මතුල්ලා ගුර්බාස් සහ හස්රතුල්ලා සසායි පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 83 ක ‍සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ රහ්මතුල්ලා ගුර්බාස් පන්දු 18 කින් ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කළ හස්රතුල්ලා සසායි, ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.


අදහස් (0)

එල්.පී.එල්. අත්දැකීම් ජයග්‍රහණයට වැදගත් වුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.