Last Update  :  2025-12-10 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල පහළට

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල පහළට

editorial - 2025 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය (ෆීෆා) පෙරේදා (9) සිදු කළ අළුත්ම ලෝක පාපන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 161 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. මීට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 159 වැනි ස්ථානයේ සිටියේය.  එහිදී දකුණු ආසියානු කලාපයේ රටක් ලෙස බංගලාදේශය ලෝකයේ ඉහළම ප්‍රගතිය අත් කර ගත් රට බවට පත්වීමෙන් ලෝක පාපන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම්හි වාර්තාවක් පිහිටුවා තිබේ. 

ශ්‍රී ලංකාව මෙසේ පාපන්දු (කාන්‍තා) ක්‍රීඩාවෙන් පියවර දෙකක් පහළට යාමට ආසන්නතම හේතුව 2027 ලෝක කුසලාන හා 2026 ආසියානු කුසලාන පාපන්දු (කාන්තා) කලාප පූර්ව සුදුසුකම් වටයේදී තරග තුනකින් ලද පරාජයයි. එහිදී ශ්‍රී ලංකාව ලාඕසය ( 0 - 3),නේපාලය (0 - 8) හා උස්බෙකිස්තානය ( 0 - 10) සමග පැවැති තරග පරාජය විය.

මෙම ශ්‍රේණිගත කිරීම් අනුව භූතානය පියවර අටක්ම ඉදිරියට පැමිණෙමින් 163 වැනි ස්ථානයට ළගාවීම කැපී පෙනේ. ඒ එම තරග වටයේදී භූතානය විසින් ලෙබනනය (2 - 1) හා සිංගප්පූරුව (3 - 2) පරාජය කරමින් ජයග්‍රාහණ දෙකක් ලැබීමය. ඊයේ නවතම ලෝක (කාන්තා) පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියානු කලාපයේ රටවල් අතර මාලදිවයින පසු වන්නේ 165 වැනි ස්ථානයේය. එයත් පියවර දෙකක පහළට යාමකි.

දකුණු ආසියාවේ සෙසු රටවල් අතර ඉන්දියාව පියවර හතකින් ඉදිරියට පැමිණෙමින් 63 වැනි ස්ථානයට පැමිණීම කැපී පෙනේ. නේපාලය වඩාත්ම ඉහළට ළගාවීමක් එහිදී පෙන්නුම් කරන්නේ පියවර 11 ක් ඔස්සේ 100 වැනි ස්ථානයේ සිට 89 වැනි ස්ථානය අත් කර ගැනීමෙනි. ඊට ශ්‍රී ලංකාව ගෝල 8 - 0 කින් පරාජය කිරීමද නේපාලයට ඉවහළ් විය.

කෙසේවූවත් දකුණු ආසියානු කලාපයේ රටක් වන බංග්ලාදේශය මෙවර කාන්තා ශ්‍රේණිගත කිරීම් අනුව සුවිශේෂී තත්වයක් උසුළයි. ඒ ලෝකයේ ඉහළම ප්‍රගතිය අත් කර ගත් රට බවට පත් වෙමින් පියවර 24 ක් තෙක් ඉහළටම පැමිණීමයි. එතෙක් 128 වැනි ස්ථානයේ කල් ගෙවූ ඔවුන් ඊයේ එහි 124 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය.එය ප්‍රතිශතයක් ලෙස 80.51% ක වර්ධනයකි.

බංග්ලාදේශය මෙසේ මෙවර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේම අවධානය දිනා ඇත්තේ 2027 ලෝක කුසලාන පාපන්දු (කාන්තා) නිර්දේශ තරග වටයේදී මුහුණ දු න් තරග තුනම ජය ගැනීමයි. තුර්ක්මෙනිස්ථානය (7 - 0), මියන්මාරය (1 -0) හා බහරේන් (7 - 0)  ඔවුන් එහිදී පරාජයට පත් කළේය. එසේ වූවත් එයින් අනතුරුව බංග්ලාදේශය මේ දක්වා මුහුණ දුන් ජාත්‍යන්තර තරග හතරකින් පිට පිටම පරාජයවී තිබේ.

අලුත්ම ලෝක පාපන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ පළමු තැන ජපානයට හිමි වන අතර එහිදී  ලෝකයේම මුල් තැනට ස්පාඤ්ඤය පත්ව සිටින්නේ එතෙක් එහි පසුවූ ඇමෙරිකාව දෙවැනි තැනට පත් කරමිනි.ස්පාඤ්ඤය මේ වන විට ලෝක පාපන්දු (පිරිමි) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුවත් පළමු ස්ථානයේ පසු වීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව මෙම වසරේදී මෙතෙක් සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු (කාන්තා) තරග හතරෙන්ම පරාජයවී තිබේ. ඔවුන් අවසන් පාපන්දු (කාන්තා) ජාත්‍යන්තර තරග ජය 2024 ඔක්තෝබර් 18 වැනිදා කත්මන්දු නුවරදී වාර්තා කර ඇත්තේ එහිදී පැවැති දකුණු ආසියානු තරගාවලියේදී මාලදිවයින ගෝල 1- 0 කින් පරාජය කිරීමෙනි.

වසර 2010 සිට ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු (කාන්තා) තරග ගණන 45 කි. ඉන් ජය ගෙන ඇත්තේ තරග 10 ක් පමණි. එක් තරගයක් සම කර තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2025 වසර සදහා ඇස්තමේන්තු ගත කර තිබූ අය වැය වාර්තාවට අනුව ජාතික පාපන්දු (කාන්තා) කණ්ඩායමේ ප්‍රවර්ධන කටයුතු සදහා වෙන් කර තිබූ මුදල රුපියල් හත් කෝටි හැට හැට පන් ලක්ෂයකට ආසන්න (7,64,84,000) මුදලකි.


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.