Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂ පතිරණට කෝටි 61 ක මිලක්
අයි.පී.එල් - 2026

මතීෂ පතිරණට කෝටි 61 ක මිලක්

editorial - 2025 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එදා මෙදා තුර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (16 වැනිදා) සමත් විය. ඒ ලබන වසරේදී (2026) පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය සඳහා ඔහුගේ සේවය ඉන්දීය රුපියල් කෝටි 18 කට මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉදිරිපත්වීම හේතුවෙනි. එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක් ඉක්මවනු ඇත. 

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් සහ ඔහුගේ සම කාලීන නිලියක වන ජුහී චවුලා හිමිකාරීක්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, අයි.පී.එල්. ඉතිහාසය තුළ ශූරතා ත්‍රිත්වයක්, අනු ශූරතාවක් සහ තෙවැනි ස්ථාන ද්විත්වයක් හිමිකරගෙන තිබේ. ලබන වසරේදී පැවැත්වෙන තරගාවලිය සඳහා ඔවුන් මතීෂට ගෙවනු ලබන මුදල මේ වන විට පවතින විනිමය අනුපාතය අනුව ගත් කළ රුපියල් හැටඑක් කෝටි දහඅට ලක්ෂ අනූහත් දහස් දෙසිය දහඅටකි. 

මතීෂ පතිරණ පිට පිට පසුගිය වසර තුනේදීම (2023 සිට 2025 දක්වා) ක්‍රීඩා කළේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමටය. කෙසේ වුවත් ලබන වසර සඳහා ඔහුව තවදුරටත් කණ්ඩායම්වල රඳවා නොගනිමින් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා මුදාහැරීමට චෙන්නායි කණ්ඩායම පියවර ගත්තේය. එපමණක් නොව මෙවර වෙන්දේසියේදී ඔහු වෙනුවෙන් එක් ලන්සුවක් හෝ තැබීමටද චෙන්නායි කණ්ඩායම ඉදිරිපත් නොවීය. 

එවැනි වාතාවරණයකදී ඉන්දීය රුපියල් කෝටි 2 ක මූලක ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත්වී සිටි මතීෂ මීලදී ගැනීම වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම අතර ද්වන්ද සටනක් පැවැත්විණ. එහෙත් ලන්සුව කෝටි 16 කට ආසන්න වන විට දිල්ලි කණ්ඩායම සටනෙන් ඉවත් වූ අතර එතැන් පටන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සටනට අවතීර්ණ විය. අවසානයේ කොල්කටා කණ්ඩායම මතීෂ වෙනුවෙන් කෝටි 18 ක ලන්සුවක් තැබීමත් සමග ලක්නව් කණ්ඩායමද සිය බලාපොරොත්තු අතහැර දැමුවේය.  

මේ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දෙවැනි ඉහළම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවටද මතීෂ පත්වූ අතර එහිදී ඔහුට ඉදිරියෙන් සිටි ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් අලෙවි වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 25.20 කි. එහිදී කැපී පෙනුණ සිදුවීම වූයේ එතරම් විශාල මුදලකට ග්‍රීන් මිලදී ගනු ලැබුවේද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් වීමය. කෙසේ වුවත් අයි.පී.එල්. තරගාවලියේ නව නීති රීති වලට අනුව ඕනෑම ක්‍රීඩකයකුට එක් වසරක් සඳහා ලැබිය හැකි ඉහළම වැටුප ඉන්දීය රුපියල් කෝටි 18 ක් බැවින් ග්‍රීන්ට හිමිවන්නේද මතීෂට හිමිවූ මුදලමය. 

ග්‍රීන් අලෙවි වූ මුලු මුදල වන ඉන්දීය රුපියල් කෝටි 25.20 න් කෝටි 18 ක් ඔහුට ගෙවීමෙන් අනතුරුව ඉතිරි කෝටි 7.20 ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ගෙවීමට ඔහුගේ සේවය මිලදීගත් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට සිදුවනු ඇත. මෙම නවතම නීතිය මෙවර තරගාවලියේ සිට ක්‍රියාත්මක වන අතර එය විදෙස් ක්‍රීඩකයන්ට මෙන්ම ඉන්දීය ක්‍රීඩකයන්ටද අදාල වනු ඇත. ඒ අනුව බලන කළ මෙවර වෙන්දේසියේදී මතීෂට හිමිව ඇත්තේ ඕනෑම ක්‍රීඩකයෙකුට ලබාගත හැකි ඉහළම වැටුප යැයිද සඳහන් කළ හැකිය. 

මතීෂට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණද ඉන්දීය රුපියල් කෝටි 2 ක මූලික ලන්සුවක් යටතේ මෙවර වෙන්දේසියට ඉදිරිපත් වූහ. එහිදී මූලික ලන්සුවටම වනිදුගේ සේවය මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයට්ස් කණ්ඩායම පියවර ගත් අතර තීක්ෂණගේ සේවය මිලදී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.

මතීෂට පෙර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි වී තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංගය. 2022 වසරේදී රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඔහුගේ සේවය මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලක් ගෙවා තිබිණ. ලසිත් මාලිංග (2011 දී කෝටි 9), නුවන් තුෂාර (2024 දී කෝටි 4.8), ඩිල්ෂාන් මධුෂංක (2024 දී කෝටි 4.6), ඇන්ජලෝ මැතිව්ස් (2011 දී කෝටි 4.4), සනත් ජයසූරිය (2008 දී කෝටි 4.2) සහ මහීෂ් තීක්ෂණ (2022 දී කෝටි 4) අයි.පී.එල්. වෙන්දේසියකදී කෝටි 4 ඉක්මවා අලෙවි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වූහ.  

මතීෂට පෙර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි වී තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ වනිඳු හසරංගය. 2022 වසරේදී රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඔහුගේ සේවය මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලක් ගෙවා තිබිණ. ලසිත් මාලිංග (2011 දී කෝටි 9), නුවන් තුෂාර (2024 දී කෝටි 4.8), ඩිල්ෂාන් මධුෂංක (2024 දී කෝටි 4.6), ඇන්ජලෝ මැතිව්ස් (2011 දී කෝටි 4.4), සනත් ජයසූරිය (2008 දී කෝටි 4.2) සහ මහීෂ් තීක්ෂණ (2022 දී කෝටි 4) අයි.පී.එල්. වෙන්දේසියකදී කෝටි 4 ඉක්මවා අලෙවි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වූහ. 

 


අදහස් (0)

මතීෂ පතිරණට කෝටි 61 ක මිලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.