Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයත් කුසලානයට ඉව අල්ලයි

එංගලන්තයත් කුසලානයට ඉව අල්ලයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහක දිනුම් අටක්ම තබා ඉතාලිය එහෙම පිටින්ම බිමට සමතලා කළ එංගලන්තය ලකුණු 57-14 ක දැැවැන්ත ජයක් ලබා මෙවර හයකොන් රග්බි ශූරතාවලියේ කුසලානයට කේවල් කරන්නට පටන් ගත්තේය.

ට්වීකන්හැම් නුවර පැවැති මේ තරගයට මොහොතකට පෙර ස්කොට්ලන්තය පරදවා ග්‍රෑන්ඞ් ස්ලෑම් ජයග්‍රහණයක් අභියසට යාමට වේල්සය සමත්වූවත් කුසලානය සහතික කරගැනීමට නම් වේල්සය විසින් ලබන සතියේදී අයර්ලන්තය පරාජය කළ යුතුය. එහෙත් දැන් එංගලන්තයේ අරමුණ වී ඇත්තේ ලබන සතියේදි ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගෙන අයර්ලන්තය හමුවේ වේල්සය පරාජය වනතුරු බලා සිටීමටය.

ප්‍රසාද ලකුණක් සහිතව ඊයේ තරගය ජයගැනීමට සමත්වීමෙන් එංගලන්තය සහ වේල්සය අතර දැන් ලකුණු පරතරය එකක් පමණි. එබැවින් ලබන සෙනසුරාදා (16) සුපර් සැටර්ඬේ බවට පත්වී ඇති අතර හයකොන් කුසලානය වේල්සය සහ එංගලන්තය අතර දෝලනය වෙමින් තිබේ.

මැනු ටුයිලගි සහ බ්‍රැඞ් ෂීල්ඞ් උත්සාහක දිනුම් ද්විත්වය බැගින් තබා එංගලන්තය ශක්තිමත් කරද්දී ජෙමී ජොර්ජ්, ජොනී මේ, ජෝර්ජ් කෘස් සහ ඩැන් රොබ්සන් උත්සාහක දිනුම බැගින් තබමින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබූහ.

ටොමාසෝ ඇලන් සහ ලූකා මොරිසි උත්සාහක දිනුම් තැබීමට සමත්වූවත් තම කණ්ඩායමට එරෙහිව එංගලන්තය පිල පවත්වාගෙන යමින් සිටින එකදිගට තරග 25 අපරාජිත සිටීමේ වාර්තාව නැවැත්වීමට නම් එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

සත්කාරක එංගලන්ත පිල තම අභිලාෂය පෙන්නුම් කළේ විනිසුරුගේ පළමු නලා හඬෙහි සිටමය. අනතුරුව 7 වැනි මිනිත්තුවේ දී ජෙමී ජෝර්ජ් තැබූ අනගි උත්සාහක දිනුමේ සිට පිට පිට උත්සාහක දිනුම් 4 ක් තැබීමට එංගලන්තය වැය කළේ මිනිත්තු 24 ක් පමණි. කෙසේවෙතත් 11 වැනි මිනිත්තුවේදි පෙරළිකාර උත්සාහක දිනුමක් තැබූ ටොමාසෝ ඇලන් එය ගෝලයක් බවට ද ප්‍රවර්ථනය කරමින් ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙස සමකර ගැනීමට සමත්වූ අතර 14 වැනි මිනිත්තුවේදී වාර්තාවූ ජොනී මේ ගේ උත්සාහක දිනුමත් සමග තරගය නැවත එංගලන්තයට අතට ගියේය. ජොනී මේ ගේ උත්සාහක දිනුම මෙවර තරගාවලියේ ඔහුගේ පස්වැනි උත්සාහක දිනුම වූ අතර දැන් ඔහු වැඩිම උත්සාහක දිනුම්ලාභියා බවට පත්ව සිටී.

තරගයේ 31 වැනි මිනිත්තුවේදී බ්‍රැඞ් ෂීල්ඞ් තැබූ ඔහුගේ මංගල ටෙස්ට් උත්සාහක දිනුමත් එක හුස්මට ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ඕවන් ෆැරල් පළමු භාගය නිමාවනවිට ලකුණු 31-7කින් එංගලන්තයට ඉහළට ඔසවා තැබුවේ25 වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් ද සාර්ථක කරගනිමිනි.

දෙවැනි භාගයේදිත් එවැනිම ක්‍රියාන්විතයකින් ඉතාලිය පරාජයේ පතුලටම තල්ලු කිරිමට කදිම ආරම්භයක් ගත් ටුයිලගි සිය දෙවැනි උත්සාහක දිනුම තැබුවේ 46 වැනි මිනිත්තුවේදීය. මේ පරිණත ක්‍රීඩකයා එංගලන්තය වෙනුවෙන් උත්සාහක දිනුමක් තැබුවේ වසර 5කට පසුවය. අනතුරුව 63 වැනි මිනිත්තුවේදි සහ 67 වැනි මිනිත්තුවේදී ජෝර්ජ් කෘස් සහ ඩෑන් රොබ්සන් තැබූ උත්සාහක දිනුම් ගෝල බවට ප්‍රවර්ථනය කළේ ෆැරල් වෙනුවට දෙවැනි භාගයේදි ආදේශ කළ ජෝර්ජ් ෆෝර්ඞ්ය. ඔහු ඉන් නොනැවතී 78 වැනි මිනිත්තුවේදී බ්‍රැඞ් ෂීල්ඞ් තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කළේය.

ඉතාලිය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ලූකා මොරිසි තැබුවේ 53 වැනි මිනිත්තුවේදිය. ඇලන් එය සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

 

ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

එංගලන්තයත් කුසලානයට ඉව අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.