Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසේන් බෝල්ට් ක්‍රිකට් උණ ඇමරිකාවටත් ගෙනියයි
විස්සයි-20 ලෝක කුසලාන

උසේන් බෝල්ට් ක්‍රිකට් උණ ඇමරිකාවටත් ගෙනියයි

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඔලිම්පික් රන් පදක්කම් 8 ක් දිනාගත් උසේන් බෝල්ට් මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ විශේෂ තානාපතිවරයකු වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමගින් එක්වී සිටී. උසේන් බෝල්ට්ගේ විශ්වාසය වන්නේ ඇමරිකාවේදී දිගු ගමනක් යාමේ අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවට ඇති බවයි. 

මේ වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සමූහය සමගින් එක්ව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සම සත්කාරකත්වය දරන ඇමරිකාව, තවත් වසර 4 කින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට සූදානමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදය යනු වෘත්තීමය මට්ටමේ ක්‍රීඩා ගණනාවකින් සමන්විත රාජ්‍යයකි. 

පැසිපන්දු, පාපන්දු, මලල ක්‍රීඩා, ටෙනිස් සහ ගොල්ෆ් පමණක් නොව බොක්සිං සහ ඇමරිකානු පාපන්දු මෙන්ම බේස් බෝල් ක්‍රීඩාවත් ඇමරිකාවේදී වෘත්තීය මට්ටමින් පැවැත්වෙන ක්‍රීඩාය. සෑම වසරකම අගෝස්තු මාසයේදී පැවැත්වෙන ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගන්නා ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවකට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 3 ක් බැගිනි. ඔගස්ටා මාස්ටර්ස් ගෝල්ෆ් තරගාවලියේ ශූරයාට හිමි ත්‍යාගය ඩොලර් මිලියන 3.6 කි. අනුශූරයාට ඩොලර් මිලියන 2.16 කි. 

ඔලිම්පික් රන් පදක්කම් 8 ක හිමිකරුවකු වන උසේන් බෝල්ට් ජැමෙයිකානු ජාතිකයෙකි. කුඩා කාලයේදී ජැමෙයිකානු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව සිටි උසේන් බෝල්ට්, උසස් පාසලේ සිටියදී පුහුණුකරුවාගේ ඉල්ලීම මත ජවන හා පිටිය තරග ඉසව් වෙත යොමු විය. එහෙත් ඊට පෙර ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකි. වතාවක් සිය හොඳම මිතුරකු වන ක්‍රිස් ගේල්ගේ කඩුල්ල දවාගැනීමටත් උසේන් බෝල්ට් සමත් වී තිබේ. 

“ක්‍රිකට් ක්‍රීඩාව ආත්මයෙන්ම වැළඳගත් ජනතාවක් සිටින කැරීබියන් දූපත් සමූහයෙන් එන මගේ හදවතේත් ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී තැනක් තියෙනවා. ඒ නිසා මේ වගේ උසස්ම මට්ටමේ තරගාවලියක තානාපතිවරයෙක් වෙන්න ලැබීම මට ගෞරවයක්....”

“මගේ ශක්තිය වගේම උද්යෝගයත් ලෝක කුසලාන තරගාවලියට ගෙනල්ලා, ඒක ගෝලීය වශයෙන් වර්ධනය වන ක්‍රිකට් ක්‍රීඩාවට එකතු කරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා” යයි උසේන් බෝල්ට් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවියට පැවසීය. 

උසේන් බෝල්ට් අපේක්ෂා කරන්නේ කැරිබියන් දූපත් වල පවතින ආකාරයේ සාද සංස්කෘතියක් ඇමරිකානු ක්‍රිකට් ක්‍රීඩාංගණවලත් ඇතිවනු දැකීමයි. රංගනය, රොක් සංගීතය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වූ දැඩි උද්යෝගී බලපෑමක් ඇතිකළ හැකිනම් ‘ක්‍රිකට් ක්‍රීඩාව’ නම් වූ ප්‍රධාන ව්‍යාපාරයට ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීමේ හොඳ අවස්ථාවක් තිබේ. 

“ඇමරිකාව කියන්නේ ක්‍රීඩාව සහ එහි ඉහළම තීව්රතාව ගැන බොහෝ දේ විශ්වාස කරන රටක්. මට හිතෙන්නේ ඒ වෙළඳපොළට ඇතුළු වීම විශාල දෙයක්. 

“ඔවුන් ක්‍රීඩාවක් සමග ඉදිරියට යන විට ඔවුන් ඒ ක්‍රීඩාව නිසි ලෙසින් හඳුනා ගන්නවා. එහි සියලුම අංශ වලට ඔවුන්ගේ අවධානය යොමු කෙරෙනවා. ඉතින් ඒ වගේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවටත් අවතීර්ණ වුණොත්, නිසැකවම ඔවුන් නිවැරදි මාර්ගයට පිවිසෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි” යයි ද බෝල්ට් කීවේය. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජූනි මස 1 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙයි. 


අදහස් (0)

උසේන් බෝල්ට් ක්‍රිකට් උණ ඇමරිකාවටත් ගෙනියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.