Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අළු බඳුන තරගාවලියට කොන්දේසි

අළු බඳුන තරගාවලියට කොන්දේසි

editorial - 2021 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලිය සඳහා  ඕස්ටේ‍්‍රලියාවට යාමට එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය කොන්දේසි සහිත අනුමැතියක් දී තිබේ.

   අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත අඩවියක
  බොතම් - හෝල්ඩිං එංගලන්තයට දෙහි කපති

කොරෝනා වයිරසය මර්ධනය කිරීම සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ පවතින දැඩි නීති රීති හේතුවෙන් මෙවර අළු බඳුන තරගාවලිය පැවැත්වේද - නැද්ද යන්න පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් පැවතිණ.  ඕස්ටේ‍්‍රලියාවේ නීති රීතිවලට බැඳී සිටීමට සිදුවීම තමන්ගේ පවුල්වල උදවියට කරදරයක් ලෙසින් එංගලන්ත කී‍්‍රඩකයෝ සැලකූහ.

තමන් අළු බඳුන සංචාරයට සහභාගි වන්නේද නැද්ද යන්න ස්ථිර කිරීම එංගලන්ත නායක ජෝ රූට් පසුගිය සතියේදී ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නවතම අර්බුදයක් නිර්මාණය විය. මේ සම්බන්ධයෙන් එංගලන්තයේ හිටපු ප‍්‍රවීන කී‍්‍රඩක ශී‍්‍රමත් ඉයන් බොතම් එංගලන්ත කී‍්‍රඩකයන්ව මෙන්ම එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයද දැඩි දෝෂ දර්ශනයට ලක්කළේය.

කෙසේ වෙතත් නවතම වාර්තා අනුව ටෙස්ට් තරග 5 කින් සමන්විත තරගාවලිය නියමිත පරිදි දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට එංගලන්ත සහ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු මෙන්ම එංගලන්ත කී‍්‍රඩකයෝත් එකඟ වී සිටිති.

”මේ සම්බන්ධයෙන් තීරණයක් දීමට රැස්වූ එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය සංචාරයටත්, ඒ සඳහා කී‍්‍රඩකයන් තෝරා ගැනීමටත් අනුමැතිය දුන්නා” යයි එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය සිකුරාදා නිවේදනය කළේය. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම ගුවන් යානයට නැගීමට පෙර තවත් විසඳාගත යුතු ප‍්‍රශ්න කිහිපයක් තිබේ.

”මේ අනුමැතිය දී තිබෙන්නේ සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ඉටුකළයුතු කොන්දේසි කිහිපයක් අනුවයි. ඉදිරි දින කිහිපයේදී ඒවා නියමිත පරිදි විසඳා ගැනීමට අපි  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ සහයෝගය බලාපොරොත්තු වෙනවා” යයි ද එංගලන්ත කි‍්‍රකට් මණ්ඩල නිවේදනයේ සටහන් වේ.

විශාලතම ගැටළුව වී ඇත්තේ අළු බඳුන තරගාවලියේ තරග 5  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත 5 ක පැවැත්වීමයි. එක් එක් ප‍්‍රාන්ත වල තත්ත්වය සම්බන්ධයෙන් ඒ ඒ ප‍්‍රාන්ත අනුගමනය කරනු ලබන කොරෝනා වයිරසය මර්ධනය කිරීමේ නීති රීති එකිනෙකට වෙනස් වී තිබේ.

වාර්තාවන පරිදි එංගලන්තයේ ඉදිරි පෙළ කී‍්‍රඩකයකු මෙන්ම ටෙස්ට් පිලේ උපනායකයාද වන ජොස් බට්ලර්  ඕස්ටේ‍්‍රලියානු සංචාරයට කැමැත්ත පළකර තිබේ.

එහෙත් බට්ලර් කලින් කියා සිටියේ සිය බිරිඳ වන ලූසී සහ දියණියන් දෙදෙනා වන ජෝර්ජියා සහ මාග‍්‍රට් නැතිව තමන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරයට එක් නොවන බවයි. දෙවැනි දියණිය වන මාග‍්‍රට්ගේ වයස යන්තම් මාසයකි.

මේ අතර තවත් කුඩා දරුවන් සිටින පියවරුන් වන කි‍්‍රස් වෝක්ස්, මාක් වුඞ් සහ රෝරි බර්න්ස් ද  ඕස්ටේ‍්‍රලියානු සංචාරයට එක්වීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

ජෝ රූට්ගේ එංගලන්ත පිලට  ඕස්ටේ‍්‍රලියාවේදී අළු බඳුන තරගාවලිය ජයගත හැකිවුවහොත්, එය වසර 35 කින් මෙපිට  ඕස්ටේ‍්‍රලියාවේදී අළු බඳුන ජයගත් දෙවැනි එංගලන්ත කණ්ඩායම වනු ඇත. එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුත් අළු බඳුන තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් 8 වැනිදා බි‍්‍රස්බේන්හි ‘ගැබා’ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

වසර 2019 දී එංගලන්තයේදී පැවැති තරගාවලිය 2-2 ක් ලෙසින් සමවීම හේතුවෙන් ‘අළු බඳුනේ’ වත්මන් හිමිකරුවන් වන්නේ  ඕස්ටේ‍්‍රලියානුවන්ය. වසර 2017-18 ගිම්හානයේදී පැවැති තරගාවලිය 4-0 ක් ලෙසින් ජයගැනීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් වූයෙන් එදා සිට අළු බඳුන  ඕස්ටේ‍්‍රලියාව සතුව තිබේ.


- 213

 


අදහස් (0)

අළු බඳුන තරගාවලියට කොන්දේසි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.