Last Update  :  2025-05-14 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත අඩවියක

අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත අඩවියක

editorial - 2021 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමෙන් කොටසක් රැගත් ගුවන් යානය, නොවැම්බර් 6 වැනිදා, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්වන තුරුම මෙවර අළු බඳුන තරගාවලිය සැබෑවක් වීම අවිනිශ්චිත බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ඉයන් වට්මෝර් මහතා පිළිගනී.

පාකිස්තානයේදී රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 තරග දෙකින් හදිසියේම ඉවත් වීම සම්බන්ධයෙන්ද වට්මෝර් මහතා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. ඒ වෙනුවෙන් ඔහු අවධාරණය කර සිටියේ ලබන වසරේදී පාකිස්තානය සමග සම්පූර්ණ තරගාවලියකට එංගලන්තය සූදානම් බවයි. සම්පූර්ණ තරගාවලියක් යනු ටෙස්ට් තරග 3 කින් සහ එක්දින තරග  5 කින් සමන්විත තරගාවලියකි. ඇතැම් විට ඊට විස්සයි-20 තරග කිහිපයක්ද ඇතුළත් විය හැකිය.

කෙසේ වෙතත් වට්මෝර් මහතාගේ අවධානය දැන් යොමුව ඇත්තේ සම්පූර්ණ ශක්තියෙන් යුත් එංගලන්ත කණ්ඩායමක් අළු බඳුන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට යවන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

අළු බඳුන තරගාවලිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කොන්දේසි සහ නිරෝධායන නීති රීති සම්බන්ධ නවතම නියෝගයන් පසුගිය සිකුරාදා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයට යවන ලදි. මෙම කොන්දේසි සහ නීතිරීති මාලාව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අපේක්‍ෂා කළ තරම් භයංකාර එකක් නොවීය. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ අපේක්‍ෂාව වූයේත්  එංගලන්ත ක්‍රීඩකයන්ගේ පවුලේ උදවියට ඕස්ට්‍රේලියාවට ගමන් කිරීම සඳහා අවශ්‍ය අවසරයයි. එහෙත් ඕස්ට්‍රේලියාවේ තත්ත්වය දිනෙන් දින වෙනස් වන බැවින් ඉදිරිය අවිනිශ්චිතව තිබේ.

හදිසියේම ඇතිවිය හැකි ‘අගුළු දැමීමේ අනතුර’ එහෙම පිටින්ම තිබේ.

ඕස්ට්‍රේලියාවේම ප්‍රාන්ත දෙකක් වන තස්මේනියාව සහ ක්වීන්ස්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු පෙළ තරගයක් ආරම්භ වීමට පැය භාගයක් තිබියදී තස්මේනියානු පිල තරගයෙන් ඉවත් වීමත් සමගම මෙම හදිසියේම අගුළු දැමීමේ අනතුර තීව්ර වී තිබේ. ඊට හේතුව වූයේ ඕස්ටේ්‍රලියාවේ ප්‍රධාන භූමියේ පිහිටි ක්වින්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයන් 4 දෙනකු හමුවීමයි. හදිසියේම අගුළු දැමීමේ තත්ත්වයක් ඇතිවුවහොත් තමන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිරවන බැවින් තස්මේනියානු ක්‍රීඩකයෝ තරගයෙන් ඉවත් වූහ.

මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ යයි එංගලන්ත ක්‍රීඩකයෝත් මහත් සේ බියවී සිටිති. එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අපේක්‍ෂා කරන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් පනවනු ලැබිය හැකි සංචරණ තහංචි සංචාරක ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවනු ඇති බවයි. එහෙත් එවන් පියවරක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් තවමත් සහතිකයක් ලැබී නැත.

එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න සහ අළු බඳුන තරගාවලිය සඳහා ස්ථිර වශයෙන්ම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය තවදුරටත් කල් දැමෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ එන්න එන්නම සංකීර්ණ වෙමින් තිබේ. ටෙස්ට් විශේෂඥයන් වන ජෝ රූට්, ජේම්ස් ඇන්ඩසන්  සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් වැනි ක්‍රීඩකයෝ නොවැම්බර් 4 වැනිදා පිටත්ව යාමට සූදානමින් සිටිති. එහෙත් සෑම අංශයකටම සහභාගි වන ක්‍රීඩකයන් වන ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටෝ සහ ක්‍රිස් වෝක්ස් වැන්නන් පිටත්ව යන්නේ තවත් දින 10 කට පසුවය. ඊට හේතුව වන්නේ ඔයින් මෝගන්ගේ සීමිත ඕවර කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් කොටස දක්වා සුදුසුකම් ලබාගනු ඇතැයි අපේක්‍ෂාවෙනි.

ලෝක කුසලාන තරගාවලිය නිමාවීමට නියමිතය ඇත්තේ නොවැම්බර් මස 14 වැනිදාය. අළු බඳුන තරගාවලියේ පළමු වැනි තරගය දෙසැම්බර් 7 වැනිදා බ්‍රිස්බේන් නුවරදී ආරම්භ වීමට නියමිතය.

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයත් එක්ක විසඳාගත යුතු ප්‍රශ්න අපට තියෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයටත් එයාලගේ ආණ්ඩුව එක්ක විසඳාගත යුතු ප්‍රශ්න තියෙනවා. ඒ අතර ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයටත්, එයාලගේ ප්‍රාන්ත රාජ්‍යයන් එක්ක විසඳාගත යුතු ප්‍රශ්න තියෙනවා. මේ සේරම බැලුවාම මෙතැන තියෙන්නේ හරිම සංකීර්ණ තත්ත්වයක්” යයි එංගලන්ත ක්‍රිකට් සභාපති ඉයන් වට්මෝර් මහතා කියයි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට යාමට මැළිවන්නේ නම් දෙවැනි පෙළ කණ්ඩායමක් හෝ ඕස්ට්‍රේලියාවට යැවීමට ඇති සම්භාවිතාව එංගලන්ත ක්‍රිකට් සභාපතිවරයා බැහැර නොකරයි. එහෙත් ඔහු අවධාරණය කරන්නේ ප්‍රශ්න තිබුණත් ජෙෂ්ඨ ක්‍රීඩකයන් අළු බඳුන තරගාවලිය සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටින බවයි.

“ඔවුන් සියලු දෙනාටම වැදගත්ම දේ අළු බඳුනයි. ඒ වගේ තරගාවලියකදී තමත්ගේ තරම පෙන්වන්නට ඔවුන්ට හැකි නම්, ඔවුන් සියලු දෙනාම අපේක්‍ෂා කරන දේ ඒකයි” යයිද එංගලන්ත සභාපතිවරයා කීවේය.

- 213

 


අදහස් (0)

අළු බඳුන තරගාවලිය අවිනිශ්චිත අඩවියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.