කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ දෙවැනි තරගාවලිය වන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගාවලිය මේ මස 15 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. තරග 5 කින් සමන්විත වන මෙම තරගාවලියේ ප්‍රධානම තරග දෙක ලෙස ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය සහ ‘රැජින කුසලාන’ තරගය හැදින්විය හැකිය.
ගාමිණී ජයරත්න, ඬේවිඞ් ඇන්තනි, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඬේවිඞ් ඇන්තනී, ජේ.ආර්. ඉරුගල් බණ්ඩාර, ප්‍රතිව් දෝරයි, ජේම්ස් මැතිව්, අනුර දෙල්ගොඩ, දීප්තිකා ජයකොඩි, අජන්ත ද සොයිසා, අනීතා දොරෙයි, ධනවර්ධන ගුරුගේ යන මහත්ම මහත්මීන්ගේ මෙන්ම අංජලී අශ්වගාලේ සහ ෆියර්ලස් අශ්වගාලේ අසුන්ද මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.
තරගාවලියේ ප්‍රධානතම තරගය වන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය මීටර 1600 ක දුරකින් සමන්විත වන අතර එහිදී අල්කසබා, සිල්වර් ස්ටී්‍රක්, ස්පිරිටඞ් ටච්, චුල්බුල් පාණ්ඬේ, පරුෂ්රාම්, සන්තෝෂ්, බාෂාගර්, ඇල්බටීනෝ, අනදර් ඒස්, ඇරිකා වොන්ඩර්, බි්රලියන්ට් කට් සහ කාල්ටන් අසුන් 12 දෙනා තරග වැදීමට නියමිතය.
මින් පෙර වසර දෙකේදී (2017 සහ 2018) පැවැති ‘ආණ්ඩුකාර කුසලාන’ කුසලාන තරගවලදී ජය ලැබීමට අල්කසබා සමත් වූ අතර මෙවරද එම තරගය ජයගැනීමට සමත් වුවහොත් පිට පිටම තෙවරක් එම කුසලාන දිනාගත් එකම වෙළඹ බවට අල්කසබා පත්වනු ඇත.
වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගයේදී මින් පෙර එවන් දක්ෂතාවක් දක්වනු ලැබ ඇත්තේ ලූඩෝ නම් අශ්වයා විසිනි. ඒ 1898, 1899 සහ 1900 යන වසර වලදී පිට පිටම තෙවරක් ආණ්ඩුකාර කුසලාන තරගය ජයගනිමිනි.
‘රැජින කුසලාන’ තරගයද මෙම තරගාවලියේදී පැවැත්වෙන තවත් සුවිශේෂී තරගයක් වන අතර අසුන් 5 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම තරගය මීටර් 2000 ක දුරකින් සමන්විත වේ. රොස්වල්ඞ්, ස්ටාර් සකොලර්, ස්ට්රෝමොන්ට්, සෙලෙස්ටියල් ෆයර් සහ ස්ටාර් ඒස් යන අසුන් එහිදී තරග වැදීමට නියමිතය.
‘ආණ්ඩුකාර කුසලාන’ තරගය සහ ‘රැජින කුසලාන’ තරගයට අමතරව ‘ස්පෝටිං ස්ටාර්’ කුසලාන තරගය (මීටර් 1400), ‘නගරාධිපති කුසලාන’ තරගය (මීටර් 1600) සහ එමානුවෙල් වෝහර්ල් අනුස්මරණ කුසලාන තරගය (මීටර් 1070) යන තරග 3 ද එහිදී පැවැත්වෙන අතර එම තරග සඳහා පිළිවෙලින් අසුන් 5 දෙනෙක්, 6 දෙනෙක් සහ 11 දෙනෙක් බැගින් සහභාගි වෙයි.
කොළඹ හිල්ටන් හෝටලය, නුවරඑළිය බ්ලැක්පූල් හෝටලය, නුවරඑළිය ඇල්ෆයින් හෝටලය, කඳුරට සමාජය, රෙඞ් එෆ්.එම්., මෝෂ් ඇන්ඞ් චෙරුක්ස් යන හෝටල්, සමාජ සහ සමාගම් මෙම තරගාවලියේ අනුග්රාහකයන් ලෙස කටයුතු කරයි.
තරගාවලිය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.