
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දියාව අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමා වීමට තවත් දින 2 ක් ඉතිරිව තිබියදීම ඉන් ලකුණු 30 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. මෙම ජයත් සමග තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරුවන්ට සයිමන් හාමර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. එහිදී හාමර් ලකුණු 21 කට කඩුලු 4 ක් බිඳහෙළීය. ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට සහාය දුන් මාකෝ ජැන්සන් සහ කේෂව් මහරාජ් කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 159 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඉන්දියාව ලකුණු 189 ක් රැස්කළේය. ලකුණු 30 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන්ගේ දෙවැනි ඉනිමද ලකුණු 153 කට සීමා වීම හේතුවෙන් ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හිමිවිය.
තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ඉන්දීය ඉනිම් දෙකේදීම කඩුලු 4 බැගින් දවාගත් සයිමන් හාමර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. මෙම තරගයේදී වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කීමට දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා (නොදැවී 55) සමත් වූ අතර පන්දු 136 කට මුහුණ දෙමින් ඔහු ලබාගත් අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 159
(ඒඩ්න් මාක්‍රම් 31, රයන් රිකෙල්ටන් 23, වියන් මල්ඩර් 24, ටෝනි ඩි’සෝර්සි 24, ජස්ප්‍රීට් බුම්රා 27/5, කුල්දීප් යාදව් 36/2, මොහොමඩ් සිරාජ් 47/2)
ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 189
(ලොකේෂ් රාහුල් 39, වොෂින්ටන් සුන්දර් 29, රිෂාබ් පාන්ට් 27, රවින්ද්‍ර ජදේජා 27, අක්සර් පටේල් 16, සයිමන් හාමර් 30/4, මාකෝ ජැන්සන් 35/3)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 153
(ටෙම්බා බවුමා නොදැවී 55, කෝබින් බොස්ච් 25, රවින්ද්‍ර ජදේජා 50/4, මොහොමඩ් සිරාජ් 02/2, කුල්දීප් යාදව් 30/2)
ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 93
(වොෂින්ටන් සුන්දර් 31, රවින්ද ජදේජා 18, අක්සර් පටේල් 26, සයිමන් හාමර් 21/4, මාකෝ ජැන්සන් 15/2, කේෂව් මහරාජ් 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.