Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket තියෙන හැටියට කාලා ඉන්න වෙන අලුත් චක්‍රයක ආරම්භය
ගාල්ල ටෙස්ට් තරගය

තියෙන හැටියට කාලා ඉන්න වෙන අලුත් චක්‍රයක ආරම්භය

editorial - 2025 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ සිව්වැනි චක්‍රය (2025 - 2027) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (17 වැනිදා) ආරම්භ වෙයි. හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ වසර 16 ක ටෙස්ට් දිවියේ අවසාන තරගය ද මෙයයි. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වැනි චක්‍රය (2023 - 2025) පසුගිය සෙනසුරාදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙන් නිමා වූයේ ඕස්ටේ්‍රලියාව පරාජය කරමින්, දකුණු අප්‍රිකානුවන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමෙන් පසුවය. එම තරගයෙන් පසුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ මීළඟ අදියර ආරම්භ වන අතර එහි පළමු වැන්න ශ්‍රී ලංකාව  සහ බංග්ලාදේශය අතර පැවැත්වෙයි. 

පසුගිය වසරේ අග භාගය වන තෙක්ම 2023-2025  චක්‍රයේ අවසන් මහ තරගයට ආසන්නයෙන් ශ්‍රී ලංකාව සිටි නමුත් දකුණු අප්‍රිකානුවන් සහ ඕස්ටේ්‍රලියානුවන් හමුවේ පිට පිටම ලද පරාජයන් 4 කින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පහළට වැටිණ. අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූයේ ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා දින දෙකකට පෙර (15 වැනිදා - ඉරිදා) සිය කණ්ඩායම් සගයන් අමතා සිහිපත් කළේ ද ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කරමින් සිටිය යුතුව තිබූ බවයි. 

“අපි ආරම්භ කරන්නේ අලුත් තරග චක්‍රයක්. ඒ වගේ තරගාවලියක ඉදිරියට යන්න නම් අපි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලි දිනන්නම ඕනේ. ඒ සෑම අවස්ථාවකම තියෙන ප්‍රසාද ලකුණු උපරිම සංඛ්‍යාව එකතු කරගන්න ඕනේ” යයි කී ධනංජය ද සිල්වා...

“ටෙස්ට් ලෝක ශූරතාවලියක නව චක්‍රයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියකින් ආරම්භ කරන්න ලැබීම ලොකු දෙයක්” යයි ටෙස්ට් තරගයට පොරතුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මේ වසර අතිශය කණගාටුදායක වර්ෂයකි. 1987 දී පිටකොටුව බස්නැවතුම්පොළ ඉදිරිපිට පුපුරා ගිය එල්.ටී.ටී.ඊ. බෝම්බයක් හේතුවෙන් 1987 සිට 1992 දක්වාම ශ්‍රී ලංකාවේදී කිසිදු අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් නොපැවැත්විණ. එහෙත් 1992 දී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිට මේ දක්වාම, වසරකදී පැවැත්වෙන ටෙස්ට් තරග සංඛ්‍යාව 4 ක් දක්වා අඩු වූයේ මේ වසරේදීය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා කීවේ ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නැති බවයි. 

“වෘත්තීය ක්‍රීඩකයන් වශයෙන් අපට තියෙන්නේ පවතින තත්ත්වයට හැඩ ගැහෙන එකයි. ඒ තත්ත්වයට ගැලපෙන විදිහට ක්‍රීඩා කරනවා විනා කාටවත් දොස් කියන්න අපට පුළුවන් කමක් නෑ...”

“පසුගිය අවුරුද්දේ අපට ටෙස්ට් තරග කීපයක් (තරග 10 ක්) ලැබුණා. ඒත් මේ අවුරුද්දේ (තරග 4 යි) එච්චර නෑ. ඒත් ඒක අපේ අතේ තියෙන දෙයක් නෙමේ” යයි ධනංජය ද සිල්වා අද ගාල්ලේදී පැවසීය. 

පුහුණුවීම් කරමින් සිටි ළහිරු කුමාර තුවාල ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය හදිසියේම වෙනස් කිරීමට සිදුවිය. ළහිරු කුමාර වෙනුවට ඉසිත විජේසුන්දර කැඳවූ නමුත් පළපුරුදු ක්‍රීඩකයකු අවශ්‍ය වන බැවින් කසුන් රාජිත ද සංචිතයට එකත කරන ලදි. 
කෙසේ වෙතත් මෙම තරගයේදී ක්‍රීඩකයන් දෙදෙනකුට ශ්‍රී ලංකා හිස්වැස්ම හිමිවීමේ ලකුණු පෙනෙන්නට තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කළ විමසීමේදී ධනංජය ද සිල්වාගේ පිළිතුර වූයේ “දෙකයි - දෙකයි යන්න තමා” යන්නයි. ධනංජය අදහස් කළේ වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමගින් තරගයට යන බව වූවත්, පිත්තෙන් ලකුණු කීයක් හෝ ලබාගත හැකි පන්දු යවන්නකු කණ්ඩායමට එක් කළ යුතුව තිබේ. ඒ අනුව අසිත ප්‍රනාන්දුගේ සහායකයා වශයෙන් මිලාන් රත්නායකට අවස්ථාවක් ලැබීමේ වැඩි ඉඩක් ඇත්තේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් සැලකිල්ලට බඳුන් වෙමින් සිටින බැවිනි. 

කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙන බැවින්, මිලාන් රත්නායකට අංක 8 ස්ථානයෙන් පැමිණිය හැකිය. මේ අතර ප්‍රභාත් ජයසූරියගේ සහායක දඟ පන්දු යවන්නා වශයෙන් කණ්ඩායමට එක්වීමේ හොඳ අවස්ථාවක් තරිඳු රත්නායකට තිබේ. පසුගිය කාලයේදී ප්‍රභාත්ගේ සහායකයා වශයෙන් රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස් යොදාගත් නමුත් මෙවර අවස්ථාව තරිඳු රත්නායකට දීමට කණ්ඩායම් කළමණාකාරීත්වය සාකච්ඡා කරමින් සිටී. 

අවසන් වරට පැවැති ජාතික සුපර් ලීග් තරගාවලියේදී තරග 5 කින් කඩුලු 37 ක් දවාගත් අකිල ධනංජය, වසර හයකට පසුව ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අසළටම පැමිණ සිටින නමුත් ඔහුට ඒ අවස්ථාව ලැබේවිද යන්න සැක සහිතය. 

බංග්ලාදේශය මෙම තරගාවලියට පැමිණ ඇත්තේ තමන්ගේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන ටමීම් ඉක්බාල්, සකිබ් අල් හසන්, ටස්කින් අහමඩ් සහ මහමදුල්ලා රියාද් වැනි ප්‍රවීණයන් නොමැතිවය. මෙම ක්‍රීඩකයන්ගේ අඩුව පුරවාලීම අසීරු බව නායක නජ්මුල් හොසේන් ශන්ටෝ පවා පිළිගනී. 

“ටමිම් සහ සකිබ් කියන්නේ ආදේශක හොයන්න පුළුවන් ක්‍රීඩකයන් නෙමේ. ඒත් මේක තරුණ ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක්” යයි බංග්ලාදේශ නායකයා පැවසීය. 


ශ්‍රී ලංකා සංචිතය 
ධනංජය ද සිල්වා (නායකයා), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, ළහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර


බංග්ලාදේශ සංචිතය : 
නජ්මුල් හොසේන් ශන්ටෝ (නායකයා), අනමුල් හක්, ජේකර් අලී, ලිටන් දාස්, මහිදුල් ඉස්ලාම් අන්කොන්, මුෂ්ෆිකුර් රහීම්, සද්මන් ඉස්ලාම්, මොහෙදි හසන් මිරාස්, මොමිනුල් හක්, නයීම් හසන්, තයිජුල් ඉස්ලාම්, එබාදත් හොසේන්, හසන් මහමුද්, හසන් මුරාඩ්, කාලිඩ් අහමඩ් සහ නහීඩ් රානා


අදහස් (0)

තියෙන හැටියට කාලා ඉන්න වෙන අලුත් චක්‍රයක ආරම්භය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.