Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 සිදුරු වසාගෙන ‘භයානක’ අඩවියට
අවසන් මහ තරගයේ පූර්විකාව

සිදුරු වසාගෙන ‘භයානක’ අඩවියට

editorial - 2022 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඒ.එෆ්.පී. ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

ඉරිදා පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ”ඇදහිය නොහැකි තරම් භයානක” කණ්ඩායමක් වන තමන්ව පරාජය කිරීමට අපහසු වනු ඇතැයි එංගලන්ත නායක ජොස් බට්ලර් විශ්වාස කරයි. එංගලන්ත නායකයා එසේ කීවද පාකිස්තානය පවසන්නේ “තමන් සියලුම සිදුරු වසාගෙන”  තරගයට පිවිසෙන බවයි.

දෙපිලේ නායකයන් කුමක් කීවත්, මේ දක්වා පැවැති අත්‍යාලංකාර තරගාවලියක අවසානය සෝදා හැරීමට අකාරුණික මෙල්බර්න් අහස සූදානම් වන බවක් පෙනේ.

මාසයකට ආසන්න කාලයක් පුරා පැවැති, තරඟ 44 කින් පසුව, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා (13 වැනිදා), එංගලන්තය සහ පාකිස්තානය අතර ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වෙයි. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.  

කණ්ඩායම් දෙකම මීට පෙරත් විස්සයි-20 ලෝක කුසලාන දිනා ඇති බැවින්, දෙපිලෙන් කවුරුන් ජයගත්තද එය දෙවැනි වතාවට විස්සයි-20 ලෝක කුසලාන දිනාගැනීමක් වනු ඇත.

පාකිස්තානය 2009 දීත්, එංගලන්තය 2010 දීත්, විස්සයි-20 ලෝක කුසලාන දිනා තිබේ. එබැවින් කවුරුන් ජයගත්තද, ඔවුන්, විස්සයි-20 ලෝක කුසලානය දෙවතාවක් දිනාගත් ලෝකයේ එකම කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමතැන් ගනු ඇත.

මේ වන විට සියලු දෙනාගේම අපේක්‍ෂාව එංගලන්තය ජයගනු ඇත යන්නය. එහෙත් ක්‍රිකට් ගැන අනාවැකි කිව හැක්කේ කාටද ? මෙ හැප්පෙන්නේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි (එංගලන්තය) සහ තුන්වැනි (පාකිස්තානය) හිමි කණ්ඩායම් දෙකයි. පළමු තැන හිමි ඉන්දියාව, එංගලන්තය විසින් ගිරි මුදුනෙන් පහළට තල්ලු කරන ලදි.

තරඟාවලියේ පළමු තරඟ දෙකම පරාජයට පත්වී, මහත් පසුබෑමට ලක්ව සිටි පාකිස්තාන කණ්ඩායම, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අන්තිම මොහොතේදීය. අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට උණ ගැනේනට ගැසූ පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ එම තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගත්හ.

එහෙත් එංගලන්තය කළේ කිසිවකුට ඇදහිය නොහැකි වික්‍රමයකි.

2022 ලෝක කුසලානය දිනාගන්නට පම්පෝරි ගසමින් සිටි ඉන්දියාව ගල ග්‍රහයෙන් ගෙන හෙල පහළට වීසිකළ ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් දෙදෙනා, කඩුලු 10 කුත්, ඕවර 4 කුත් ඉතිරිව තිබියදීම ලකුණු 169 ඉලක්කය පසුකර ගියහ.

දැන් ඇත්තේ පෙරළිකාර කණ්ඩායම් දෙකක් අතර ඇතිවිය හැකි ගල උඩ සටනකි. එහෙත් දරුණු ගිගුරුම් සහිත වැසි පිළිබඳ අනාවැකි පැවසෙන අතරම වර්ෂාව ඇතිවීමේ සම්භාවිතාව 100්‍ර ක් යයිද කියැවේ. අවසන් මහ තරගය සඳහා අතිරේක දිනයක් ලෙසින් සඳුදා (14 වැනිදා) වෙන්කර ඇතත්,  කාලගුණය තවදුරටත් අඳුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සාමාන්‍ය වි-20 අන්තර්ජාතික තරගයකදී විසඳුමක් ලබාගැනීමට ඕවර 5 ක් ප්‍රමාණවත් වුවද, අවසන් මහ තරගයක් වන බැවින් මෙම තරගයේ විසඳුමක් ලබාගැනීම සඳහා ඕවර 10 ක් ඕනෑ වෙයි. එබැවින්, ඉරිදා ආරම්භ වන තරගය අවසන් කරගත නොහැකි වුවහොත්, ඉරිදා නතර කළ තැනින් සඳුදා තරගය ආරම්භ කළ හැකිය.

ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වුවහොත්, 2022 කොළඹදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී මෙන්, වි-20 ලෝක කුසලානය දෙපිලටම සමව හිමිවනු ඇත.

“අපි හොඳ කණ්ඩායමක්, මා හිතන්නේ බොහෝ විට දස්කම් ඉස්මතුවන්නේ එතැනින්,”
“කණ්ඩායමේ සිටින සමහර ක්‍රීඩකයින් උපරිමයෙන් ක්‍රීඩා කරනවා. එවිට අප පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ඇත්තම කියනවා නම්, මේක ඇදහිය නොහැකි තරම් භයානක කණ්ඩායමක්. ඒ ගැන කණ්ඩායම තුළ විශාල විශ්වාසයක් තියෙනවා” යයි එංගලන්ත නායක ජොස් බට්ලර් පැවසීය.

පිතිකරු ඩේවිඩ් මැලන් සහ වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් දෙදෙනාම ආබාධවලට ලක්වීම හේතුවෙන් අවසන් පූර්ව තරගයට ක්‍රීඩා නොකළහ. එහෙත් මේ දෙදෙනාම අවසන් මහ තරගය සඳහා සූදානම් වනු ඇතැයි එංගලන්ත නායකයා විශ්වාසය පළකරයි.

ජොස් බට්ලර්ගේ ආක්‍රමණශීලී ලකුණු 80 ත්, ඇලෙක්ස් හේල්ස්ගේ ප්‍රචණ්ඩකාරී ලකුණු 86 ත් හමුවේ ඉන්දීය පන්දු යවන්නෝ නිරුත්තරව ගියහ. එහෙත් පාකිස්තාන වේග පන්දු යවන්නන් වන මොහොමඩ් නවාස් සහ ශහීන් ෂා අෆ්රිඩිට ඉරිදා තරගයේදී ආරම්භක පිතිකරුවන් මොට කිරීමේ වගකීම පැවරෙනු ඇත.

පකිස්ථාන කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු මැතිව් හේඩ්න් මෙම සංග්‍රාමය දෙස බලන්නේ ක්‍රිකට් ලෝලියකුගේ ඇසිනි.

“විශිෂ්ට පන්දු යවන්නන් හමුවේ විශිෂ්ට පිතිකරුවන්... ක්‍රීඩා ලෝලීන් තරග නරඹන්නේ අන්න ඒ නිසයි”

“කොහොම වුණත්, අපට වේගවත් පන්දු යවන්නන් හතර දෙනෙක් ඉන්නවා. ඔවුන්ට සැබවින්ම හානිකර බලපෑමක් කරන්න පුළුවන්” යයි ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවා පැවසීය.

“අපේ පැත්තට පන්දු යැවීමේ විකල්ප හයක් තියෙනවා. හත්වැන්නාත් අවශ්‍ය නම් ඒකත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි සියලුම අංශ වලින් ආවරණය වෙලා තියෙන්නේ” යයි ද මැතිව් හේඩ්න් වැඩිදුරටත් පැවසීය.

මේ කණ්ඩායම් දෙකම එකිනෙකා හොඳින් හඳුනති.

මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර, පාකිස්තානයේදී පැවැති තරග 7 කින් යුත් වි-20 තරගාවලියකට ඔව්හු සහභාගි වූහ. එම තරගාවලියේ තරග 5 ක් නිමාවේදී 3-2 ලෙසින් පසුපසින් සිටියද, නොසිතූ මොහොතක ඉදිරියට පැමිණි එංගලන්තය, අවසන් තරග දෙකම දිනාගනිමින්, 4-3 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළේය.

“මා හිතන්නේ අපි පාකිස්තානයේ ගත කළ කාලය, අපේ කණ්ඩායමට අතිශයින් ප්‍රයෝජනවත්” බට්ලර් පැවසීය.

“කොහොම වුණත් එය පුදුමාකාර අවස්ථාවක් වේවි”
“එය නිසැකවම රසවිඳිය යුතු, භුක්ති විඳිය යුතු අවසන් තරගයක්. ඒ නිදහස ඇතිව ක්‍රීඩා කරන්න, මා අපේ කොල්ලන්ව දිරිමත් කරනවා” යයි ඉරිදා පැවැත්වෙන අවසන් තරගය ගැන එංගලන්ත නායකයා පැවසීය.

මැතිව් හේඩ්න් පවසන්නේ කණ්ඩායම් දෙකම කරට කර සිටින බවයි.

“ඉරිදා දිනයේදී පීඩනය හසුරුවන්නේ කවුද?, ඔවුන්ගේ සූදානම්වීම ටක්කෙටම නිවැරදිද?, තම තමන්ගේ හැඟීම් පාලනය කළ හැක්කේ කාටද?, ඔවුන් ආරම්භ කරන්නේ කෙසේද? ඒ වගේම ඔවුන් අවසන් කරන්නේ කෙසේද?”

“මේ තියෙන්නේ ක්‍රීඩාවේදී නිතරම කතාබහ වන දේවල්”
“ඒවා විශාල වශයෙන් වැදගත් වුණත්, ඕනෑවට වඩා ඒ ගැන හිතන්න ගියොත් වැඩ වරදීවි” යයි මැතිව් හෙඩ්න් කීවේය.


අදහස් (0)

සිදුරු වසාගෙන ‘භයානක’ අඩවියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.