Last Update  :  2025-09-13 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්
ආසියනු කුසලාන - 2025

ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්

editorial - 2025 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී  ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් අපේක්‍ෂා කෙරේ. දුෂාන් හේමන්තගේ ස්ථානයට පැමිණීමට වනිඳු හසරංග සූදානමින් සිටින අතර බිනුර ප්‍රනාන්දුගේ ස්ථානයට නුවන් තුෂාර හෝ චාමික කරුණාරත්න ආදේශ කෙරෙනු ඇත. එහෙත් පිතිකරු ලයිස්තුවේ වෙනසක් අපේක්‍ෂා කළ නොහැකිය. 

2018 දී පැවැති නිදහස් කුසලාන තරගාවලියේදී ඇතිවූ සිදුවීමකින් පසුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග එන්න එන්නම උණුසුම් වෙමින් තිබේ. කොහොමටත් බංග්ලාදේශය සමගින් බේරා ගැනීමට මෑත කාලීන ගනුදෙනුවක් ශ්‍රී ලංකා පිලට තිබේ. එනම් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවේදීම පැවැති විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ 2-1 කින් පරාජය වීමයි. එය ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්‍ෂා නොකළ ප්‍රතිඵලයක් නොවේ. එබවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද පිටියට පිවිසෙන්නේ බංග්ලාදේශය හමුවේ පරාජය වීමේ වාඩුව ගැනීමේ අටියෙනි. 

එක්දින තරග මෙන් නොව විස්සයි-20 තරග වලදී පිතිකරු ලයිස්තුවේ ඉදිරියෙන්ම එන්නේ කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවන්ය. වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දීමට කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවන්ට අවස්ථාව සලසා දීම මෙම උපක්‍රමයේ අරමුණයි. ඉදිරිපෙළ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කිරීම යනු වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබීමකි. 

මේ වනවිට ලෝකයේ සිටින විශිෂ්ටම පිතිකරුවන් දෙදෙනකු වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ වෙති. ඔවුන් දෙදෙනාගේ සාර්ථකත්වය මත මැද පෙළ පිතිකරුවන් වන කමිල් මිෂාර, චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස්ට නිදහසේ තම තමන්ගේ පහර කරා යා හැකිය. දසුන් ශානක ඉනිම අවසාන කරන්නා වන බැවින් 16 වැනි ඕවරයෙන් ඔබ්බට ඔහුගේ වැඩ කොටස තිබේ. 

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානය දිනා ගත්තේ මීට වසර තුනකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විස්සයි20 ආකෘතියෙන් ක්‍රීඩා කළ අවස්ථාවේදීය. එම ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෝ 9 දෙනෙක් වත්මන් කණ්ඩායම සතුව සිටිති. 2022 කණ්ඩායමේ නායකත්වය දැරූ දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ සහ නුවනිදු ප්‍රනාන්දු මෙම ක්‍රීඩකයන් 9 දෙනාය. 

මෙම ක්‍රීඩකයින් සතුව විස්සයි-20 ක්‍රීඩාවේ අත්දැකීම් බොහොමයක් ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම  තරඟාවලියේදී බොහෝ දුර යා හැකි බව හිටපු නායක දසුන් ශානකගේ අදහසයි.

“2022 දී  ආසියානු කුසලාන දිනාගත් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් බාගයකටත් වැඩියෙන් වත්මන් කණ්ඩායමේ ඉන්නවා. ඒ අය දැන් කණ්ඩායමේ ඉන්නේ එදා තිබුණාටත් වැඩි අත්දැකීම් ගොන්නක් එක්ක. වඩාත්ම වැදගත් අංගය එයයි,” යයි දසුන් ශානක ඩේලි එෆ්.ටී. පුවත් පතට පවසා තිබේ. 

“මේ ක්‍රීඩකයින්ගෙන් හොඳ ප්‍රයෝජනයන් අපට ලබා ගත හැකියි කියා මා විශ්වාස කරනවා. මොකද ඔවුන් දිගු කාලයක් තිස්සේ එකට ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් අපි තනි ඒකකයක් වගේ එකට ක්‍රීඩා කළොත් අපට මෙම තරඟාවලියේ බොහෝ දුර යන්න පුළුවන්” යයි ද දසුන් ශානක පවසා තිබේ. 

ආසියානු කුසලාන තරග පැවැත්වෙන අබුඩාබි සහ ඩුබායි ක්‍රීඩාංගණ වල දේශගුණික තත්වයන් සහ තණතීරු අපට ආගන්තුක නොවේ. බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ එහිදී විස්සයි-20 තරග වලට මෙන්ම දහයයි-10 තරග වලටත් සහභාගි වෙති. දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ක්‍රීඩකයෝ වැඩි දෙනෙක් අබුඩාබි සහ ඩුබායි ක්‍රීඩාංගණ වල හොඳින් දස්කම් දැක්වූවෝ වෙති. 

2022 ආසියානු කුසලාන තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වූයේත් වනිඳු හසරංගයි. 

“මෙවැනි තරඟාවලියකට එනකොට අපි ධනාත්මක මානසිකත්වයකින් එන්න ඕනා. අපේ කාණ්ඩයම (බී කාණ්ඩය) ටිකක් අමාරු එකක් තමයි. ඒත් අපි මානසිකව වගේම දක්ෂතා අතිනුන් ඉහළින් ඉන්නවා. ඒත් වඩාත්ම වැදගත් දේ තමයි අපේ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කිරීම” යයි දසුන් ශානක ඩේලි එෆ්.ටී. පුවත් පතේ නියෝජිත සාදි තව්ෆීක් මහතා හා පවසා තිබේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.