
සංචාරක දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර චන්දිගර්හිදී ඊයේ (11 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 51 ක පහසු ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ තිලක් වර්මා පන්දු 34 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 62 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරායෙන් ගළවා ගැනීමට නොහැකි විය.
ලකුණු 64 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී හර්දීක් පාණ්ඩ්‍යා (20) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වර්මා සමත් වූ නමුත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ජිතේෂ් ශර්මා පන්දු 17 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔට්නීල් බාට්මන් සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර ඉන්දීය පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මාර්කෝ ජැන්සන්, ලුංගි න්ගිඩි සහ ලුතෝ සිපම්ලා කඩුලු 2 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 213 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 46 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 90 ක් රැස්කළේය. එය ඔහුගේ 17 වැනි විස්සයි-20 අර්ධ ශතකය විය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඒඩ්න් මාක්‍රම් (29) සමග එක්ව පන්දු 47 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩි’කොක් සමත් විය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ඩොනොවන් ෆෙරෙයිරා (නොදැවී 30) සහ ඩේවිඩ් මිලර් (නොදැවී 20) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 213
(ක්වින්ටින් ඩි’කොක් 90, ඒඩ්න් මාක්‍රම් 29, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 14, ඩොනොවන් ෆෙරෙයිරා නොදැවී 30, ඩේවිඩ් මිලර් නොදැවී 20, වරුණ් චක්‍රවර්ති 29/2)
ඉන්දියාව - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 162
(අභිෂේක් ශර්මා 17, අක්ෂර් පටේල් 21, තිලක් වර්මා 62, හර්දීක් පාණ්ඩ්‍යා 20, ජිතේෂ් ශර්මා 27, ඔට්නීල් බාට්මන් 24/4, මාර්කෝ ජැන්සන් 25/2, ලුංගි න්ගිඩි 26/2, ලුතෝ සිපම්ලා 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.