Last Update  :  2025-11-27 21:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket අසලංකව නායකත්වයෙන් අයින් කරන්නේ නෑ

අසලංකව නායකත්වයෙන් අයින් කරන්නේ නෑ

editorial - 2025 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායකත්වයෙන් චරිත් අසලංකව ඉවත් කර නැති බවත් ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී කණ්ඩායමේ බරපතළ වෙනස්කම් කළ නොහැකි බවත් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා කියයි. අද (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපතිවරයා එසේ කියා සිටියේය. 

සූම් තාක්‍ෂණය ඔස්සේ මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මහතා ද සහභාගි විය. 

“චරිත් අසලංකව තමයි අපි කාලයක් තිස්සේ නායකත්වයට සූදානම් කළේ. අපි එහෙම කළේ 2026 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙනයි” 

“පසුගිය දිනවල විස්සයි-20 තරග වලදී අසලංක ලකුණු අතර හිටියේ නෑ..” 

“චරිත් තමයි තවමත් නායකයා. චරිත් අසනීප හින්දා තමයි අපි තාවකාලිකව දසුන්ව නායකත්වයට පත්කළේ. අපේ සැලසුම් වල තවමත් ඉන්නේ චරිත්. ඒක වෙනස් කරන්න අපි තවමත් තීරණය කරලා නෑ” යයි තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවසීය. 

පාකිස්තානයේදී පැවැති එක්දින තරගාවලියේ පළමු තරග දෙකේදීම නායකත්වය  දැරූ චරිත් අසලංක අසනීප වීම හේතුවෙන් තුන්වැනි එක්දින තරගයේදී කුසල් මෙන්ඩිස් තාවකාලිකව නායකත්වයට පත්කරන ලදි. එහෙත් විස්සයි-20 තරගාවලියේදී දසුන් ශානකට නායකත්වය හිමිවිය. 

මේ අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර 25 වැනිදා (අඟහරුවාදා) පැවැති තරගයේදී ක්‍රීඩා කළ ආකාරයෙන් ඊට පෙර පැවැති තරග වලදී ක්‍රීඩා කළ නොහැකි වූයේ මන්ද යනුවෙන් කරන ලද විමසීමකදී ජාතික පුහුණුකරු සනත් ජයසූරිය මහතා කියා සිටියේ කලින් පැවැති තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය අසාර්ථක වූ බවයි. 

“කලින් තරග වලදී අපේ පළමු පිතිකරුවන් හතර දෙනා හරියට ලකුණු අතරට ආවේ නෑ.. බරපතළම ප්‍රශ්නය වුණේ ඒකයි. අපි ඒ ගැන ගොඩාක් කතා කළා. ඒත් අවාසනාවකට වගේ හැමදාම හොඳ ආරම්භයක ලබාගන්නා පිතිකරුවා ඉක්මනින් දැවී ගියා. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නය වුණේ. 

“අනෙක් අතට තණතීරුව...”

“මේ පාකිස්තානයේ ශීත සෘතුවයි. මේ විදිහේ තණතීරු අපට මීට කලින් ලැබිලා නෑ. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමේ. ඔයා හරි...මීට වඩා හොඳින් පන්දුවට පහර දෙන්න අපට තිබුණා” යයි සනත් ජයසූරිය මහතා පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන බොහෝ අවස්ථාවලදී ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීම පැහැදිළිවම දැකගත හැකි කාරණාවකි. එම ප්‍රශ්නය නිරකරණය කරගැනීමට  ගතහැකි පියවර සම්බන්ධයෙන් කළ විමසීමකදී ජයසූරිය මහතා මෙසේ පැවසීය. 

“ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපට තවත් තරග 7 ක් විතර තියෙනවා. ඊට ඉස්සරවෙලා හරි සංයුතියකට ගිහිල්ලා මේ ප්‍රශ්නය හදාගන්න ඕනා... ”

“කමිල් මිෂාර වුණත් හොඳ ආරම්භයක් ගන්නවා. ඒත් ඒක දිගට ගෙනියන්නේ නෑ... අපි ඒ ගැනත් කතාකරලා තියෙනවා. කමිල්ව අපි යොදාගන්නේ ආරම්භක පිතිකරුවන් අතර වමත් (කමිල් මිෂාර) - දකුණත් (පැතුම් නිස්සංක) සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නයි. අංක 3 කුසල් මෙන්ඩිස් ඉන්නවා. ඔහු දකුණත් පිතිකරුවෙක්... අංක 4 ට එන කුසල් ජනිත් පෙරේරා වමත් පිතිකරුවෙක්... 

“මැදට අපි ගෙන්නේ කුසල් ජනිත් පෙරේරා. එයාට පුළුවන් දඟ පන්දු යවන්නන්ව හොඳට හසුරුවා ගන්න. මොකද මේ හතර දෙනා අපට ඉතාමත් වැදගත්.. ඉතින් මේ හතර දෙනාගෙන් කවුරුහරි ලොකු ඉනිමක් ගහන්න ඕනේ... ඒක තමයි අපේ බලාපොරොත්තුව”
“පැතුම් ලකුණු අතර නැති වුණාම අපි අමාරුවේ වැටෙනවා. ඒක පැතුම් වගේම අනෙක් ක්‍රීඩකයනුත් දන්නවා.. එත් අපට හැමදාමත් පැතුම්ගෙන් ම යැපෙන්න බෑ.. ” යයි ද ජයසූරිය මහතා පැවසීය. 


අදහස් (0)

අසලංකව නායකත්වයෙන් අයින් කරන්නේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.