Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner ටෙස්ට් ලකුණු 12,000 පසුකළ එකම වමත්කරු සංගා

ටෙස්ට් ලකුණු 12,000 පසුකළ එකම වමත්කරු සංගා

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


 

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවරදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 5 ක් ලබාගැනීමත් සමගම ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය පිතිකරුවන් පස්දෙනා අතරට පිවිසීමට කුමාර් සංගක්කාර සමත් විය.

අද පෙරවරුවේදී ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවකින් ලකුණු 2 ක් ලබාගත් 37 හැවිරිදි සංගක්කාර, ටෙස්ට් ලකුණු 12,000 පසුකළ පිතිකරුවන් අතරේ ඉහළම සාමාන්‍යය රඳවාගෙන සිටින පිතිකරුවා පමණක් නොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලද වමත් පිතිකරුවාද වෙයි.

ටෙස්ට් ලකුණු 12,000 ඉක්මවා ලබා සිටින සෙසු පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් (15,921), රිකී පොන්ටිං (13,378), ජැක් කලිස් (13,289) සහ රාහුල් ද්‍රාවිඞ් (12,288) යන සියලූ දෙනාම දකුණත් පිතිකරුවෝ වෙති.

ටෙස්ට් ලකුණු ලබාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගෙන සිටින සචින් තෙන්ඩුල්කාර් තරග 200 කදී ලකුණු 15,921 ක් ලබාගනිමින් ඉනිමකදී ලකුණු 53.78 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටී. එහෙත් ටෙස්ට් තරග 130 කදී ලකුණු 12,028 ක් ලබාගෙන සිටින සංගක්කාරගේ සාමාන්‍යය ලකුණු 58.38 කි.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ලකුණු 11,988 ක් ලබා සිටි සංගක්කාරට පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ලබාගත හැකිවූයේ ලකුණු 7 ක් පමණි. එබැවින් මෙම තරගයේදී තමන්ගේ ඉලක්කය පසුකර යාමේ දැඩි උවමනාවක් සංගක්කාරට තිබිණ.

”එයා අසාර්ථක වෙනවා කියන්නේ පුහුණුකරුවා නපුරු හීනයක් දකිනවා වගේ දෙයක් තමයි. එහෙම වුණාම (සංගක්කාර අසාර්ථක වීමේදී) පැය ගාණක් තිස්සේ ඔහුට පන්දුව වීසි කරන්න පුහුණුකරුවාට සිදුවෙනවා”

”ඔහු තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ඒ තරම් විශාල කැපවීමකින් කටයුතු කරනවා. මේ තරගයේදී එම ඉලක්කය කරා යාමට ඔහු දැඩි උවමනාවකින් සිටිනවා” යයි ශී‍්‍ර ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයට පෙර දිනයේ පවසා තිබිණ.

වසර 2000 දී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ගාල්ල කී‍්‍රඩාංගණයේදී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ සංගක්කාර මේ දක්වා ටෙස්ට් තරග 130 කදී ශතක 37 ක් සහ අර්ධ ශතක 51 ක් ලබා සිටී. එය කොදෙව් පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු සේ සැලකෙන බ‍්‍රයන් ලාරාගේ ලකුණු 11,953 ත්, ටෙස්ට් ශතක 34 සහ අර්ධ ශතක 48 අභිබවා යාමකි.

ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සංගක්කාර දෙවැනි වන්නේද ලොව අසහාය පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි. ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ලබා සිටින අතර සංගක්කාරගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 10 කි. බ‍්‍රැඞ්මන් දකුණත් පිතිකරුවකු වන අතර සංගක්කාර මෙන්ම වමත් පිතිකරුවකු වන බ‍්‍රයන් ලාරාගේ ටෙස්ට් ද්විත්ව ශතක සංඛ්‍යාව 9 කි.

ටෙස්ට් ලකුණු ලබාගැනීම අනුව පළමුවෙන්ම ලකුණු 10,000 කඩයිම පසුකර ගිය පිතිකරුවා (1987 දී) වූයේ ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර්ය. පසුව ඇලන් බෝඩර් ලකුණු 11,000 කඩයිම පසුකර ගිය පළමු පිතිකරුවා විය.

 

ටෙස්ට් ලකුණු 10,000 කඩයිම පසුකළ පිතිකරුවෝ

ක්‍රීඩකයා  තරග සමය  තරග ඉනිම  නොදැ. ලකුණු  වැ.ල සාමා. 100 50 0
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 1989 - 2013 200 329 33 15,921 248* 53.78 51 68 14
රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව) 1995 - 2012 168 287 29 13,378 257 51.85 41 62 17
ජැක් කලිස් (දකුණු අප්‍රිකාව) 1995 - 2013 166 280 40 13,289 224 55.37 45 58 16
රාහුල් ද්‍රාවිඩ් (ඉන්දියාව) 1996 - 2012 164 286 32 13,288 270 52.31 36 63 8
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 2000 - 2015 130* 224 18 12,028 319 58.38 37 51 10
බ්‍රයන් ලාරා (බ. ඉ. කොදෙව්) 1990 - 2006 131 232 6 11,953 400* 52.88 34 48 17
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 1997 - 2014 149 252 15 11,814 374 49.84 34 50 15
ශිවනරීන් චන්ද්‍රපෝල් (බ. ඉ. කොදෙව්) 1994 - 2015 161* 273 49 11,725 203* 52.34 30 65 14
ඇලන් බෝඩර් (ඕස්ට්‍රේලියාව) 1978 - 1994 156 265 44 11,174 205 50.56 27 63 11
ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව) 1985 - 2004 168 260 46 10,927 200 51.06 32 50 22
සුනිල් ගවස්කාර් (ඉන්දියාව) 1971 - 1987 125 214 16 10,122 236* 51.12 34 45 12

අදහස් (2)

ටෙස්ට් ලකුණු 12,000 පසුකළ එකම වමත්කරු සංගා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.