Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමය මාර්තු 30 - 31

අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමය මාර්තු 30 - 31

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර සංවිධානය කෙරෙන වාර්ෂික සුනිල සංග්‍රාමය ක්‍රිකට් තරගය මාර්තු මස 30 සහ 31 දෙදින අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ සත්කාරකත්වයෙන් මෙවර තරගය පැවැත්වෙනුයේ 55 වැනි වරටය.

අම්බලන්ගොඩ මහා මංගල්‍යය සේ සැලකෙන මෙම ක්‍රිකට් තරගයේ ගෙවී ගිය තරග 54 න් තරග 12 කම ජය පැන් බිව්වේ ධර්මාශෝක විද්‍යාලයයි. තරග දෙකක් පමණක් ජය ගත් දේවානන්ද විද්‍යාලය මෙම තරගයේ කුසලානය තවමත් තමන් සන්තකයේ තබා ගෙන සිටිනුයේ  2022 වසරේදී  ලබාගත් පෙරලිකාර ජයග්‍රාහණයෙන් පසුවය. 2023 තරගයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර තරග 40 ක්ම ජයපරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.

1963 ආරම්භ කෙරුණු මේ තරගයට වසර 61 ක දිගු ඉතිහාසයක් තිබුණද වසර 7ක්ම මේ තරගය පැවැත්වී නැත්තේ විවිධ හේතු කාරණා නිසාය. මාරාන්තික කොරෝනා ව්‍යසනය නිසා වසර දෙකක්ම තරගය නොපැවැත්වුණු අතර අනෙක් තරග පහ පැවැත්වී නැත්තේ වෙනත් ප්‍රශ්න කිහිපයක් මුල්කර ගනිමිනි.

1963 වසරේ පැවැති මංගල සුනිල සංග්‍රාමයේ ජය භුක්ති විදීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත් විය. එයින් වසර තුනක් ගිය තැනේදී එනම් 1966 දී  සිය මංගල සුනිල සංග්‍රාමය ජය ගත් දේවානන්ද විද්‍යාලයට 2022 වනතෙක්ම වෙනත් එකම තරගයක් හෝ ජයගත නොහැකි විය. ඒ අතර වාරයේ ධර්මාශෝක විද්‍යාලය තරග 12 කම ජය අත්කර ගැනීමට සමත්වී තිබුණි. දේවානන්දය 2022 තරගය ජයගත්තේ වසර 56 කට පසුවය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල  මෙතෙක් සහභාගි වූ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග 11 න් තරග 3 ක් මුල් ඉනිමේ ජයගනිමින් තරග 3 කදී පරාජය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ අජිත් ද සිල්වා, උපුල් තරංග, රමේෂ් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෝ වෙති.

ධර්මාශෝක විදුහල් කණ්ඩායමේ  ගිය වසරේ (2023) නායකත්වය දැරූ සෙනිත හැළඹගේ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 222 ක් ලබා ගනිමින් එම විදුහලේ එක් තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිකර ගත්තේ උපුල් තරංගගේ (210) සහ දිනුක දිල්ෂාන්ගේ (216) වාර්තා බිද හෙළමිනි.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී දේවානන්ද විද්‍යාලය තරග 9 කට සහභාගීවී ඉන් තරග 4 ක පූර්ණ ජයත් තරග  3ක පළමු ඉනිමේ ජයත් තරග 3ක පළමු ඉනිමේ පරාජයත් අත්වින්දේය. මේ තරග වාරයේදී දේවානන්ද විදුහල අපරාජිත කණ්ඩායමකි.

 

ධර්මාශෝක විදුහල් කණ්ඩායම :-

රන්දුල් සමරහේවා (නායක), පැතුම් මලිත (උප නායක), සෙනිත හැළඹගේ, කවීෂ මතේෂ්, ආකාෂ් මෙන්ඩිස්, චන්දූප කවීෂ්, විශ්ව දිමුතු, චානුක ජයසිරි, සෙනුර සදයුරු, සහස් ද සිල්වා, දිනෙත් ගිම්හාන, ඔෂාන් මින්, පසිදු ජයකොඩි, ජිතිර සන්සික, ඉෂාන් අනුරාධ, නෙතුජ භාසිත, පසිදු නදීෂ් සහ ඔමෙග කරුණාරත්න

 

දේවානන්ද විදුහල් කණ්ඩායම;-

වනිත් ද සිල්වා (නායක), චමෝද් චන්දූප (උප නායක), සදුල රශ්මිත, කවීෂ් කුමාර, සිතුම් විහග, රවිදු ජීවංක, සවීන් දයාජිත්, විහග මලිත්, මහිම් දේශාල්, තෙනුජ රශ්මින්, ලුදීෂ නිම්සර, රජිත ලක්ෂාන්, දනිදු ඉනෝෂ, මයුර මල්ෂාන්, නිශිත ද සිල්වා සහ මිනිදු ඕෂද


අදහස් (0)

අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමය මාර්තු 30 - 31

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.