Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශා. ජෝශප් විද්‍යාලය අවසන් මහ තරගයට

ශා. ජෝශප් විද්‍යාලය අවසන් මහ තරගයට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනාධිපති කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් හා මහනුවර කිංග්ස්වුඞ් විදුහල් අතර අද(23 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 23-10 ක ජයක් ලැබූ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. මෙම තරගය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පසුගිය වසරේ ශූරයන් බවට පත්වූ ශාන්ත ජෝශප් කණ්ඩායම උත්සාහක දිනුම් 2කුත්, ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහර 3ක් සමගින් මෙම තරගය පහසුවෙන්ම ජය ගනිද්දී, මහනුවර කිංග්ස්වුඞ්  විද්‍යාලයට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුම් 2ක් පමණි.

තරගය ආරම්භ වී විනාඩි 8ක් යාමට මත්තෙන් ජෝශප් විද්‍යාලයට ලබාදුන් දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සන්තුෂ් අල්ගමට හැකියාව ලැබිණ. තරගය ආරම්භයේදී කිංග්ස්වුඞ් විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබා ගත්තද, දිගින් දිගටම සිදුවූ අතපසුවීම් කිංග්ස්වුඞ් විද්‍යාලයේ පරාජයට පාර කැපීය. පළමු භාගය අවසානයේ කිංග්ස්වුඞ් විද්‍යාලයේ හිරූෂ සම්පත් සහ තුමුල වැලිගම්පල කිංග්ස්වුඞ් විද්‍යාලය පෙරමුණේ තැබුවත්, දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම තරගය අතට ගත් ජෝශප් විද්‍යාලය කිංග්ස්වුඞ් විද්‍යාලයට දෙවන භාගයේ කිසිදු ලකුණක් ලබා  නොදීමට වගබලාගත්තේය.

20 වැනි මිනිත්තුවේදී, තුමුල වැලිගම්පල ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට තිබූ අවස්ථාව හිරූෂ සම්පත්ට මගහැරී ගියේය. ලකුණු පුවරුවේ ලකුණු 5-3 ක් ලෙස සටහන්ව තිබියදී, නැවතත් වේගවත් ධාවනයකින් යුතුව ලබාගත් උත්සාහක දිනුම හේතුවෙන් තරගය ආරම්භයේදී කිංග්ස්වුඩ් විද්‍යාලය ජෝශප්වරුන්ට විශාල අභියෝගයක් එල්ලවිය.

පළමු භාගය අවසානයේ ලකුණු 10-9 ක් ලෙස පෙරමුණ ලබාගැනීමට කිංග්ස්වුඞ් විද්‍යාලයට හැකි වුවත්, තරගය පුරාවටම ප්‍රතිවාදීන්ට දඬුවම් පහර ත්‍රිත්වයක්ම ලබාදීම නිසා නිකරුණේ ලකුණු 9ක් පූජා කිරීමට සිදුවීමෙන් සම්පූර්ණයෙන්ම තරගය ජෝශප්වරුන් වෙත නතුවිය.  

දෙවන භාගය ආරම්භ වී විනාඩි කිහිපයක් යාමට මත්තෙන් ජෝශප් විද්‍යාලයේ තීරක සන්තුෂ් ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලීමට අංක 5 දරන ක්‍රීඩක සන්තුස් අල්ගමට හැකියාව ලැබිණ. ඒ අනුව ලකුණු 16-10 ක් ලෙස පෙරමුණ ලබාගත් ජෝශප් විද්‍යාලය දෙවන භාගයේ කිංග්ස්වුඞ් විද්‍යාලයේ ක්‍රීඩකයන් මෙල්ල කරමින් තරගයට අවතීර්ණ  විය.

නැවතත් කවිඳු කේෂාන් ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලූ සන්තුසු අල්ගම ලකුණු 23-10 ක් ලෙස තරගය අවසන් කරමින් මෙවර ජනාධිපති කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී කිංග්ස්වුඞ් විද්‍යාලයට කුසලානයේ සිහිනය අතහැර දැමීමට සිදුවිය. තරගය පුරාවටම සිදු වූ අතපසු වීම් පරාජයට පාර කැපීම නිසා සිව්වතාවක් ශූරයන් බවට පත්වූ කිංග්ස්වුඞ් විද්‍යාලයට මෙවර තරගාවලියෙන් ඉවත් වෙද්දී තවත් කණ්ඩායම් ද්විත්වයක් හෙට තරග බිමට පිවිසීමට නියමිතය.
 
දෙවන අවසන් පූර්ව තරගය ශාන්ත පිතර විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර හෙට (24) සුගතදාස ක්‍රීඩාංගණයේදී ප.ව 4.15 ට පැවැත්වීමට නියමිතය. එයින් ජය ගන්නා කණ්ඩායම සමග ජෝශප් විද්‍යාලය මේ මස 30 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී අවසන් තරගයට සහභාගී වනු ඇත.

 

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (0)

ශා. ජෝශප් විද්‍යාලය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.