Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශා. ජෝශප් පිල වෙස්ලි පරදවයි

ශා. ජෝශප් පිල වෙස්ලි පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

මෙවර තරගවාරයේ දී සිය තුන්වැනි උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කළ ගැමුණු චේතියගේ විස්මිත දස්කම් නිසා අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ පළමු තරගයෙන් වෙස්ලි විදුහල් පිලට එරෙහිව ලකුණු 26-16 ක ජයක් අත්කර ගැනීමට මරදාන ශාන්ත ජෝශප් විදුහල් පිල සමත්විය.

හැව්ලොක් පිටියේදී පැවැති මෙම තරගය ආරම්භ වූ මොහොතේදීම සිය පළමු උත්සාහක දිනුම තැබූ ගැමුණු චේතිය අනතුරුව දෙවැනි භාගයේ දී පිට පිට උත්සාහක දිනුම් 2ක් තැබුවේ වෙස්ලි විදුහල් පිල ලකුණු 16-14 කින් පෙරමුණ ගෙන ජෝශප්වරුන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටියදීය.

මෙවර තරගාවලියේ මෙතෙක් උත්සාහක දිනුම් 7 ක් තබා වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතර පෙරමුණේ පසුවූ චේතිය ඊයේ තැබූ උත්සාහක දිනුම් ත්‍රිත්වයත් සමග එය 10 දක්වා වැඩි කරගත්තේය.

තරගය ආරම්භයේදීම ඔහු විසින් තබනු ලැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සංතුෂ් අල්ගම ශාන්ත ජෝශප් විදුහල් පිලට ලකුණු 7-0 කින් පෙරමුණ ගෙන දුන්නේය. මොහොතකට පසුව ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් මුර්ෂිද් සුබේර් වෙස්ලි විදුහල් පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර තවත් මිනිත්තු කිහිපයකට පසුව කවින්දන පෙරේරා තැබූ උත්සාහක දිනුම නිසා ලකුණු 8-7 කින් පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල් පිල සමත්විය.

කෙසේවෙතත් පළමු භාගය නිමාවීමට පෙර ජෝශප් විදුහල් පිල ලකුණු 14-8කින් පෙරමුණ ගත්තේ නිමේෂ් සිල්වා තැබූ උත්සාහක දිනුම අල්ගම විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමත් සමගය.

එහෙත් දෙවැනි භාගයේදී වෙනස් සැලසුමකින් යුතුව ක්‍රීඩා කළ වෙස්ලි විදුහල් පිල අනපේක්ෂිත ලෙස වැඩි ආක්‍රමණශීලීත්වයක් පෙන්නුම් කරන්නට පටන් ගත් අතර දඬුවම් පහරක් තබමින් ලකුණු සංඛ්‍යාව 11 දක්වා ඉහළ දමාගත්තේය. ඉන් නොනැවතී මිනිත්තු කිහිපයකට පසුව ලකුණු 16-14කින් පෙරමුණ ගත්තේ රයන් සැමුවෙල්ස් තැබූ අගනා උත්සාහක දිනුම නිසාය.

ජයග්‍රහණය ශාන්ත ජෝශප් විදුහල් පිල දෙසට හරවා තැබූ ගැමුණු චේතියගේ උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා වූයේ ඉන් පසුවය. ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට අල්ගම අසමත්වූවත් තුන්වැන්න නම් සාර්ථක කරගත්තේය.


ශාන්ත ජෝශප් විදුහල 26
උත්සාහක දිනුම් 3යි - ගැමුණු චේතිය (3), නිමේෂ් සිල්වා
ප්‍රවර්තන - සංතූෂ් අල්ගම (3)

වෙස්ලි විදුහල 16
උත්සාහක දිනුම් 2යි - කවින්දන පෙරේරා, රයන් සැමුවෙල්ස්
දඬුවම් පහර - මුර්ෂිද් සුබේර් (2)

 

 

ජෝශප් - වෙස්ලි අන්තර් පාසල් ලීග් රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - වරුණ කරුණාසේකර

 


අදහස් (0)

ශා. ජෝශප් පිල වෙස්ලි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.