Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි මාලාවේ තෙවැනි සහ අවසන් අදියරේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර ‘ලංකාදීප’යට පැවසීය.
මෙම තරගාවලිය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී සති අන්තයේදී (13 සහ 14) දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වේ. පළමු දිනය වන අද පස්වරු 1.30 ට සිට පස්වරු 7.30 දක්වා තරග පැවැත්වෙන අතර දෙවැනි දිනයේ තරග පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතය.
එහිදී සූරියබණ්ඩාර වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“මෙම තරගාවලියට අපි ගොඩක් හොඳ සූදානමින් ඉන්නේ. පළමු දිනයේ අපිට චීනය සහ චීන තායිපේ යන කණ්ඩායම්වලට එරෙහිව තරග දෙකකට සහභාගි වෙන්න තියෙනවා. එම තරග දෙක අපි අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුයි. මොකද දෙවැනි දිනයේ හොං කෙං පිලට එරෙහිව තරගයට මුහුණ දීමට තිබෙනවා”
“පළමු තරගාවලි දෙකේම අපි සිවුවැනි ස්ථානයට පත්වුණා. එහිදී අපිට අවසන් පූර්ව කඩ ඉම පැනගන්න නොහැකි වුණා. වසර කීපයක සිට වෙන්න ඔය දෙයමයි. නමුත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයට යන්න තමයි අපේ සූදානම”
“අපිට පෙර තරගාවලිවලදී හොං කොං කණ්ඩායම මුණගැසුණේ අවසන් පූර්ව වටයේදීයි. නමුත් මෙවර පළමු වටයේ අවසන් තරගයේදී හොං කොං පිල හමුවෙනවා”
“හොඳට ක්‍රීඩා කළහොත් අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතනවා”
ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්වීම නිසා පෙර තරගාවලි අහිමිවීම පිළිබඳව සූරියබණ්ඩාර මෙසේ පැවසීය.
“ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම අපිට පාඩුවක් වඅණා තමයි. නමුත් මෙම තරගාවලියේදී අපේ තුවාල ලැබූ සියලුම ක්‍රීඩකයන්ගේ සේවය ලැබී තිබෙනවා. ධනුෂ්ක රංජන්, කවිඳු පෙරේරා සහ ගයාන් වීරරත්න මෙම තරගාවලියට ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි ඉලක්කයට යන්න හැකියාව ලැබෙයි කියලා හිතනවා” නායකයා වැඩි දුරටත් පැවසීය.
ජපානය, දකුණු කොරියාව, පිලිපීනය සහ මැලේසියාව ‘ඒ’ කණ්ඩායේ ද, හොංකොං, චීනය, ශ්‍රී ලංකාව සහ චීන තායිපේ ‘බී’ කාණ්ඩයේ ද, පළමු වටයේ තරග කරයි. මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගගි වන පළමු තරගය චීනයට එරෙහිව අද පස්වරු 3.42 ට ආරම්භ වීමට නියමිතය.
හොං කොං තරගාවලියේදී ආබාධවලට ලක්වූ ප්‍රබල ක්‍රීඩකයන් වන කවිඳු පෙරේරා, ධනුෂ්ක රංජන් සහ ගයාන් විරරත්න මෙම තරගාවලියේදී ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටිති.
හොං කොංහිදී සහ දකුණු කොරියාවේදී පැවැති අදියර දෙකේදී ජපානය පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව එහිදී සිවුවැනි ස්ථානය හිමිකර ගත්තේය.
පිරිමි තරගාවලියේ කුසලාන ශූරතාව සහ අනු ශූරතාව හිමිකරගන්නා කණ්ඩායම් දෙකට ලබන වසරේ හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ.
හොං කොං, ශ්‍රී ලංකා, ජපානය සහ දකුණු කොරියාව ‘සී’ කාණ්ඩයේ ද, චීනය, තායිලන්තය, කසකස්තානය සහ සිංගප්පූරුව ‘බී’ කාණ්ඩයේ ද, කාන්තා තරගාවලියේ පළමු වටයේ තරග කරයි.
කාන්තා තරගාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර ලබන වසරේ හොංකොං කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි සංචිතය:
ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), දනූෂ් දයාන්, රීෂා රෆයිඩීන්, කෙවින් ඩික්සන්, අධීෂ වීරතුංග, නවීන් හේනකංකාන්ම්ගේ, දිනුක් අමරසිංහ, ගයාන් විරරත්න, ධනුෂ්ක රංජන්, කවිඳු පෙරේරා, සුදම් සූරිආරච්චි සහ ඔමල්ක ගුණරත්න
ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි සංචිතය:
සංජීවනී ද සිල්වා (නායිකා), වාසනා විරක්කොඩි, තීක්‍ෂනා ලියනගේ, නදීකා මුණසිංහ, දසුනි ද සිල්වා, අයේෂා පෙරේරා, දුලානි පල්ලිකොන්දගේ, ජීවන්ති ගුණවර්ධන, අයේෂ් කළුආරච්චි, තනූජා වීරක්කොඩි, දිලිනි කාංචනා සහ කුමාරි නහෙල්මගේ
ශ්‍රී ලංකා පිරිමි පිලේ පළමු වටයේ තරග කාලසටහන
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ චීනය අතර පස්වරු 3.42
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර පස්වරු 7.22
● 14 වැනිදා - ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පස්වරු 12.12
ශ්‍රී ලංකා කාන්තා පිලේ පළමු වටයේ තරග කාලසටහන
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පස්වරු 3.36
● 13 වැනිදා - ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පස්වරු 5.20
● 14 වැනිදා - ශ්‍රී ලංකාව සහ ජපානය අතර පෙරවරු 10.44
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.