Last Update  :  2025-05-02 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ හඹායති

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ හඹායති

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දශක 7කට වඩා පැරැණී ඉතිහාසයකට හිමිකම් කියන බ්‍රැඞ්බි පළිහ රග්බි තරග බිමේ 33 වැනි ජයග්‍රහණය හඹා යන කොළඹ රාජකීය විදුහල් පිල සිය අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමේ අභිලාෂයෙන් හෙට (5 වැනිදා) පල්ලෙකැලේදී ත්‍රිත්ව විදුහල් පිටියට පිවිසෙයි. අන්තර් පාසල් පළමුපෙළ රග්බි තරගාවලියේ අපරාජිතව සිටිමින් කුසලාන වටයට එක්වූ කොළඹ රාජකීය විදුහල් පිල පසුගියදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති බ්‍රැඞ්බි පළිහ පළමු අදියර ලකුණු 39-7 කින් ජයගැනීම නිසා පසුවන්නේ මහත් උද්දාමයකිනි.

පල්ලෙකැලේ පැවැත්වෙන දෙවැනි අදියරේ තරගයේ වාසිය රාජකීයයන්ගේ පැත්තට වැටී ඇත්තේ පළමු තරගයේදී ලකුණු 32ක් වැනි විශාල ලකුණු පරතරයකින් තරගය ජයගැනීම නිසාය.

බ්‍රැඞ්බි පළිහ හිමිවන්නේ තරග දෙකේදීම සමස්ත ලකුණු එකතුව අනුව වන බැවින්  රාජකීයයන්ගේ අපේක්ෂාවන් බිඳ දැමීමට නම් ත්‍රිත්ව විදුහල් පිලට සිදුවී ඇත්තේ දෙවැනි තරගය ලකුණු 33 ක වාසියක් සමග ජයගැනීමටය.  එය එතරම් පහසු කාරණාවක් නොවන බව ත්‍රිත්ව ක්‍රීඩකයෝ ඉඳුරාම දනිති. කෙසේ වෙතත් සිය රග්බි බලකොටුව වන පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන බැවින් බ්‍රැඞ්බි පළිහ රාජකීයයන්ගෙන් උදුරා ගැනීමට ත්‍රිත්ව විදුහල් පිලේ ක්‍රීඩකයෝ හැකි සෑම තුරුම්පුවක්ම ගැසීමට සැදී පැහැදී බලා සිටිති.

අනික් අතට බ්‍රැඞ්බි තරග ඉතිහාසයේ දෙවැනි අදියර ජයගැනීමට වැඩිපුරම සමත්වී ඇත්තේ ත්‍රිත්ව විදුහල් පිලයි.

 එබැවින් මෙවර තරගයේදීත් ඉතිහාසය නැවත පෙළගැස්වීමට ත්‍රිත්ව විදුහල් පිල අර අඳිනු නිසැකය. ඔවුන් ඉතිහාසය පුරා දෙවැනි අදියරේ තරග 35 ක්ම ජයගෙන ඇති අතර රාජකීය විදුහල් පිල ජයගෙන ඇත්තේ දෙවැනි අදියරේ තරග 32 ක් පමණි.

ඉතිහාසය පසුපස හඹා යාමේ කිසිදු අවශ්‍යතාවක් රාජකීයයන්ට නොමැති බව පැහැදිලි වන්නේ ඔවුන් තවමත් අපරාජිතව පාසල් ලීග් තරග බිමේ පෙරමුණේ පසුවන නිසාය. එමෙන්ම පසුගිය වසරේ දිනාගත් බ්‍රැඞ්බි පළිහ රැක ගැනීමට මේ වසරේදීත් ලැබී ඇති කදිම අවස්ථාව කිසිසේත්ම අපතේ හැරීමට රාජකීයයන් ඉඩ නොතබනු ඇත. එනිසාම දෙවැනි අදියරේ තරගයේදීත් පළමු අදියරේ තරගය මෙන් ත්‍රිත්ව විදුහල් පිලට රාජකීයයන්ගෙන් කිසිදු බුරුලක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.


රාජකීය විදුහල් කණ්ඩායම
සාබිත් ෆෙරෝස් (නායක). ජනිඳු ඩිල්ෂාන්, මලීෂ මධුමෙවන්, හිමන්ත හිරුෂාන්, ඉඳුවර රණතුංග, ඉබ්‍රාහිම් බාරී, සමාධි ඉඳුවර, සසිත සියාත්, ෆාදිල් අද්නාන්, රදීෂ විජේරත්න, රසිත් කාව්‍යංජන, මුබීන් ෆලීල්, මිගාර මිහිංසක, නිපුන යශෝගන්, නිකිල් ද සිල්වා, දුලාන් ගුණවර්ධන, ලෙහාන් ගුණරත්න, තුලේබ් හසන්, දේශාන් පෙරේරා, යසිස් රෂ්මික, කලිඳු නන්දිල, ඒ.එල්.නව්රාන්, ඉෆ්හාම් ෆරීඞ්, භානුක සමරනායක, චමෝද් කවිඳු, දේව් විදර්ශණ.
පුහුණුකරු - දුෂ්‍යන්ත් ලෙව්කේ මහතා

 

ත්‍රිත්ව විදුහල් කණ්ඩායම
අවිශ්ක ශේක් (නායක), නවීන් රාජරත්නම්, වොරන් විරකෝන්, නිමේෂ් ඒකනායක, නෙරංජන් විතාරණ. ප්‍රවින්ද විජේතිලක, යොමාල් බණ්ඩාර, ජෝෂුවා පීටර්, කේ.කේ.ඩී.නෙත්වර, මොහොමඞ් ඉක්රාම්, ලෙනොක්ස් කළ්‍යණරත්න, ටෙහාන් කරුණාරත්න, අකිත සකලසූරිය, විශ්ව රණරාජා, ජනිඳු රත්නායක, රෙශාන් බණ්ඩාරනායක, මහ්දි අබ්දුල්ලා, මෙකැන් යෂ්වන්ත්, ධිරාන් රත්වත්ත, විමල් ප්‍රභාත්, අමිත් කුලතුංග, මිනිඳු ජයසුන්දර, දනිඳු හේරත්, හර්ෂ සමරසිංහ, මොහොමඞ් ෂුයෙබ්.
පුහුණුකරු - ලොටේ රයිකබුලා මහතා

 

 


අදහස් (0)

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ හඹායති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.