Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner යුද හමුදාවට 27-25 ක තියුණු ජයක්

යුද හමුදාවට 27-25 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේදී වැලිසර නාවික හමුදා රග්බි පිටියේ අද (19) පස්වරුවේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 27-25 කින් සත්කාරක නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ පසු වූ යුද හමුදා පිල මෙවර තරගාවලියේ තරග 10 කදී ලැබූ සිවුවැනි ජය මෙය වේ. නාවික හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-14 ක් ලෙස ලකුණු තුනකින් ඉදිරියෙන් සිටියේය.

කසුන් ද සිල්වා තරගයේ 10 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් නාවික හමුදා පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. එහෙත් යුද හමුදා පිලේ ෂෙහාන් සිල්වා 22 වැනි මිනිත්තුවේදී ගෝල කණු අතර තැබූ පන්දුවට ඉසුරු මැදගෙදර අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 7-7 ක් ලෙස සම විය.

තිළිණ වීරසිංහ 27 වැනි සහ 32 වැනි මිනිත්තුවලදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙකත් සමගින් නාවික හමුදා පිල ලකුණු 17-7 ක් ලෙස පෙරමුණ ගත්තේය. ඉසුරු මැදගෙදර පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 17-14 ක් බවට පත්විය.
චතුර සෙනෙවිරත්න දෙවැනි අර්ධයේ 11 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 22 ක් බවට පත්විය. යුද හමුදා පිලේ අෂාන් බණ්ඩාර දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී ගෝල සීමාව ආක්‍රමණය කිරීමෙන් ලකුණු පුවරුව 22-19 ක් බවට පත්විය.

තිළිණ වීරසිංහ ඉන් මිනිත්තුවකට පසුව නාවික හමුදාවට දඩුවම් පහරකින් ලකුණු තුනක් එකතු කළේය. ඒ අනුව ලකුණු පුවරුව 25-19 ක් බවට පත්විය. ගයාන් සාලින්ද 35 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලට එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 25-24 ක් බවට පත්ව තරගයේ උණුසුම වැඩි විය.

 තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී යුද හමුදා පිලට ලැබුණු දඩුවම් පහර අවස්ථාව ගයාන් සාලින්ද සාර්ථක කිරීමෙන් ලකුණු 27-25 ක් බවට පත්ව යුද හමුදාව ජය තහවුරු කරගත්තේය.

 

ඡායාරූපය - ඉෂාන් සංජීව (පුස්තකාල ඡායාරූපයකි)


අදහස් (0)

යුද හමුදාවට 27-25 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.