Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ සිය අවසන් තරගයට එක්වූ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ඊයේ රත්මලානේදී පැවැති තරගයේදී ගුවන් හමුදා පිල ලකුණු 22 - 08 කින් පරදවා සිය 6 වැනි ජයග්‍රහණය වාර්තා කළේ මෙවර තරගාවලියේදී අපරාජිත බව ආරක්‍ෂා කරගනිමිනි.
තරගයේ පළමු භාගයේ දී දෙපිලම කරට කර සටනක නිරත වූ අතර එය නිමාවට පත්වූයේ ලකුණු 05 - 03 ක් ලෙසින් නැවියන් පෙරමුණේ තබමිනි.
දෙවැනි භාගයේදී දැඩි ආක්‍රමණශීලී තරග රටාවක නිතරවූ නාවිකයෝ එම අර්ධයේදී ගෝල් 2 ක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත්හ. ගුවන් හමුදා පිලට දෙවැනි භාගයේදී ලබා ගත හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි.
ලීග් තරගාවලියේ පළමු වටය නිමාවීමට තවත් සතියක් තිබියදී නාවිකයන්ගේ අරමුණ වූයේ තරගාවලියේදී මෙතෙක් පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව රැකගැනීමයි. එබැවින් පළමු අර්ධයේදී ප්‍රතිවාදීන්ට ලකුණු නොදීමට පරෙස්සම් වූ නාවිකයෝ ලකුණු ලබාගැනීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක්වූහ.
කෙසේ වෙතත් ලකුණු 05-03 ක් ලෙසින් පළමු අර්ධය නිමා වීමත් සමගම තමන්ගේ අතපසුවීම වටහාගත් නාවිකයන්ගේ සිතිවිල්ල වූයේ එවන් තත්ත්වයක් හමුවේ ආරක්‍ෂාවට වඩා ආක්‍රමණය වැදගත් බවයි. යම් හෙයකින් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් ලබාගැනීමට ගුවන් හමුදා පිල සමත් වූයේ නම් තත්ත්වය එහෙම පිටින්ම කණපිට හැරෙන බව නාවිකයෝ සිහියට ගත්හ. තමන්ගේ දුර්වල පන්දු ලබාගැනීමෙන් ප්‍රයෝජන ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් අසමත් වූ බවද නාවිකයන්ට පිළිගැනීමට සිදුව තිබිණ.
දෙවැනි අර්ධයේදී අනපේක්‍ෂිත ආක්‍රමණයකට පිළිපන් නාවික හමුදාව වෙනුවෙන් දුලාංජන විජේසිංහ තැබූ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ විසින් ගෝල දිනුමක් බවට ප්‍රවර්ථනය කරන ලද හෙයින් ලකුණු තත්ත්වය 12-03 ක් ලෙසින් සටහන් විය. මෙම අවස්ථාවේදී ගුවන් හමුදා පිලේ චරිත් සෙනෙවිරත්නට ලැබුණු දඬුවම් පහරක් අපතේ ගියද තිළිණ වීරසිංහ දඬුවම් පහරක් සාර්ථක කරගැනීම නිසා ලකුණු තත්ත්වය 15-03 ක් විය.
තරගයේ 72 වැනි විනාඩියේදී සත්‍යා රණතුංග තැබූ උත්සාහක දිනුමට වීරසිංහගෙන් අතිරේක ලකුණු 2 ක් එකතු විය. එතැන් සිට තරගය නිමාවන තුරුම ගුවන් හමුදා පිල ඇද බැඳ තබාගත් නාවිකයෝ ලකුණු 22-08 ක් ලෙසින් තරගය අවසන් කළහ.
පරාක්‍රම රත්නායක ගුවන් හමුදා පිලෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කී අතර චරිත් සෙනෙවිරත්න දඬුවම් පහර සාර්ථක කරගත්තේය.
මෙම තරගයේදී ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් නාවික හමුදාව සතුටු විය හැකි නමුත් තවත් උත්සාහක දිනුමක් ලබාගත්තේ නම් ප්‍රසාද ලකුණු කිහිපයත් ඔවුනට එක්කර ගත හැකිව තිබිණ. ඊට මූලික හේතුවක් වූයේ නාවිකයන් පළමු අර්ධයේදී දැක්වූ උදාසීන බවයි.
නාවික හමුදා - ගුවන් හමුදා ඩයලොග් කුසලාන රග්බි තරගයේ උණුසුම් අවස්ථා...
(ඡායාරූප - වරුණ කරුණාසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.