Last Update  :  2025-10-15 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ​ගැටලු ගොඩක් මැද රග්බි නිලවරණය අනිද්දා

​ගැටලු ගොඩක් මැද රග්බි නිලවරණය අනිද්දා

editorial - 2025 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එළඹෙන වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරී මණ්ඩලය තෝරාගනු ලබන එම වාර්ෂික සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය, ක්‍රීඩා අමාතංශයේ ඩන්කට් වයිට් ශ්‍රවනාගා‍රයේදී අනිද්දා (8 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබේ.

විනිසුරු ලලිත් ජයසූරිය, විනිසුරු නිමල් රණවීර, එම්.එම්. මොහොමඩ්, දිලුම් දයාරත්න සහ රිෆ්ඩි ෆාමි යන මහත්වරුන්ගෙන් සමන්විත නිලවරණ කමිටුවක අධීක්ෂණය යටතේ මෙම නිලවරණය පැවැත්වේ.

එහිදී සංගමයේ සභාපති ධූරය සඳහා හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න සහ හිටපු කමිටු සාමාජිකයකු වන පවිත්‍ර ප්‍රනාන්දු යන මහත්වරු තරග වැදීමට නියමිතය. කෙසේ වුවත් මෙවර නිලවරණයේ විශේෂත්වය වන්නේ සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරු හැරුණුකොට සෙසු සියලුම තනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමට නියමිතව තිබීමය.

භාණ්ඩාගාරික ධූරය සඳහා හිරුණික බාලසූරිය සහ නෝමල් ඒකනායක යන මහත්වරු තරග වදින අතර නියෝජ්‍ය සභාපති ධූරයට ශානික ප්‍රානාන්දු, උප සභාපති ධූරයට චින්තක පෙරේරා, ලේකම් ධූරයට සුබාෂ් ජයතිලක යන මහත්වරු නිතරගයෙන් තේරී පත්වීමට නියමිතය. කාන්තා නියෝජනය සඳහා තිළිණි රංගනී සහ ක්‍රීඩක නියෝජනය සඳහා ස්ටෙෆාන් ග්‍රෙගරි පත්වීමට නියමිතව ඇත්තේද නිතරගයෙනි.

මෙවර නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ඇත්තේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට සහ සබරගමු පළාත් රග්බි සංගමයට‍ පමණි. එහිදී මහනුවර, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ හැව්ලොක්ස් යන ක්‍රීඩා සමාජවලට ඡන්ද 6 බැගින්ද, යුද හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ පොලිසියට ඡන්ද 7 බැගින්ද හිමිව තිබේ. සබරගමු පළාත් රග්බි සංගමයට‍ හිමිව ඇත්තේ ඡන්ද 2 ක් පමණි.

මෙහිදී වඩත් සැලකිය යුතු කරුණක් වන්නේ රග්බි ව්‍යවස්ථාවට අනුකූලව මින් පෙර එක් ක්‍රීඩා සමාජයකට හෝ අනු සංගමයකට නිලවරණයකදී භාවිතා කිරීමට ලබාදී තිබූ උපරිම ‍ඡන්ද සංඛ්‍යාව 6 ක් වුවත්, මෙවර නිලවරණයේදී ඇතැම් ක්‍රීඩා සමාජවලට ඡන්ද 7 ක් භාවිතා කිරීමේ අයිතිය ලබාදීමට නිලවරණ කමිටුව පියවර ගෙන තිබීමය.

මින් පෙර පැවැති රග්බි නිලවරණයන්හිදී පළාත් රග්බි සංගම් සියල්ල‍ටම ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ලබා දී තිබුණද, මෙවර නිලවරණයේදී පළාත් රග්බි සංගම් 8 න් 7 කම ඡන්ද අයිතිය අහෝසි කිරීමටද බලධාරීන් කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පළාත් රග්බි සංගම් කිහිපයක් මේ වන විට අධිකරණය දක්වා ගොස් ඇතැයිද දැනගන්ට ලැබේ.

මේ අතර සභාපති ධූරයට තරග වදින පවිත්‍ර ප්‍රනාන්දු මහතා එම ධූරය සඳහා තරග වැදීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නැතැයි චෝදනා කරමින් එම ධූරයට තරග වදින සෙසු ‍අපේක්ෂකයා වන ලසිත ගුණරත්න මහතා නියෝජනය කරන සී.එච්. ඇන්ඩ් එ‍‍ෆ්.සී. ක්‍රීඩා සමාජය විරෝධතාවක් ඉදිරිපත්කර ඇති නමුත් නිලවරණ කමිටුව එය ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී සී.එච්. ඇන්ඩ් එ‍‍ෆ්.සී. ක්‍රීඩා සමාජය විරෝධතාව ඉදිරිපත් කර ඇත්තේ රග්බි ව්‍යවස්ථාවේ 28.2 වගන්තියට අනුව යමෙක් සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත් වන්නේද ඔහු වසර 2 ක කාලයක් සංගමයේ විධායක කමිටුව නියෝජනය කර තිබිය යුතුය යන්න පාදක කරගනිමිනි.

පවිත ප්‍රනාන්දු මහතා මින් පෙර 2020 වසරේ අගෝස්තු මස 29 වැනිදා රග්බි විධායක කමිටුවට ඇතුළත්ව ඇති බවත්, 2022 වසරේ මාර්තු මස 3 වැනිදා කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවත් විරෝධතාවේ සඳහන් වේ. ඒ අනුව පවිත්‍ර මහතා මින් පෙර කමිටුව නියෝජනය කර ඇත්තේ අවුරුද්දකුත් මාස 6 ක පමණ කාලයක් වන බැවින් ව්‍යවස්ථානුකූළව ඔහුට මෙවර නිලවරණයේදී සභාපති ධූරය සඳහා ඉදිරිපත්විය නොහැකි බවද විරෝධතාවට ඇතුළත් වේ.

කෙසේ වුවත් එම විරෝධතාව විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගැනීම හේතුවෙන් පවිත්‍ර මහතාට සභාපති ධූරය සඳහා තරග වැදීමට අවස්ථාව හිමිව ඇතැයි වාර්තා වේ. එය ‍එසේ වෙද්දී, ලසිත මහතාගේ පාර්ශවයෙන් සංගමයේ නියෝජ්‍ය සභාපති ධූරය සහ උප සභාපති ධූරය සඳහා මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් බස්නායක සහ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ එස්.ඩබ්. චැන්ග් යන මහත්වරුන් ඉදිරිපත් කළ නාම යෝජනා කිසිදු හේතු දැක්වීමකින් තොරවම ප්‍රතික්ෂේප කර දැමීමට නිලවරණට කමිටුව පියවර ගැනීම ගැටලු සහගත බව බොහෝ පාර්ශවයන් චෝදනා කරයි.

මෙම සිදුවීම් සියල්ල කොළඹ එක්තරා ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක උවමනාවට සිදුවන බවත්, ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයා සහ ඔලිම්පික් කමිටුවේ නියෝජිතයා හැර සෙසු නිලධාරීන් තිදෙනාම නිලවරණ කමිටුවට යෝජනා කර ඇත්තේ එකී ක්‍රීඩා සමාජය බවත් තතු දන්නෝ පවසති. ව්‍යස්ථානුකූලව සිතන විට  නිලවරණයට අදාල සියලු ප්‍රතික්ෂේප කිරීම් සහ අනුමත කිරීම් සඳහා නිලවරණ කමිටුව එක් ‍එක් පාර්ශයවයන් වෙනුවෙන් එක එක හැදි යොදා ගෙන ඇත්තේ ඉහත සඳහන් කළ ක්‍රීඩා සමාජයේ උවමනාවන් ඉටු වෙන ආකාරයෙන්ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවන බවද ඔවුහු කියා සිටිති.

පවිත්‍ර ප්‍රනාන්දු මහතා

 

ලසිත ගුණරත්න මහතා 


අදහස් (0)

​ගැටලු ගොඩක් මැද රග්බි නිලවරණය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.