Last Update  :  2025-11-18 20:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ රග්බි පිලට ටර්බෝ-ෆ්ලයිහයි ස්පෝට්ස් අනුග්‍රහය

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ රග්බි පිලට ටර්බෝ-ෆ්ලයිහයි ස්පෝට්ස් අනුග්‍රහය

editorial - 2025 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවේ 110 වැනි වසරට පිවිසෙන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ මීළඟ තරග වාරය සඳහා අනුග්‍රහය දැක්වීමට ප්‍රධාන පෙළේ සන්නාම දෙකක් වන ‘ටර්බෝ’ සහ ‘ෆ්ලයිහයි ස්පෝට්ස්’ ඉදිරිපත්ව සිටී. ඊට අමතරව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ වෛද්‍ය සේවා සහකරු වශයෙන් ලංකා හොස්පිට්ල්ස් සමාගම ඉදිරිපත්ව සිටින අතර ප්‍රීමා ආහාර සහ ටී.වී.එස් ලංකා (පුද්ගලික) සමාගම -හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ සම අනුග්‍රාහකයෝ ලෙස ඉදිරියට පැමිණ සිටිති. 

සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන ‘ටර්බෝ’ ශක්තිජනක පානයකි. සෙඩි්‍රක් ඇන්තනි විසින් ආරම්භ කරන ලදුව, ඔහුගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යන ‘ෆ්ලයිහයි ස්පෝට්ස්’ රග්බි ඇකඩමිය තුන්වැනි වසරටත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන අනුග්‍රාකයා වී සිටී. ක්‍රීඩා සමාජයේ වෛද්‍ය සේවා සහකරුවා වන ලංකා හොස්පිටල්ස් සමාගම සතුව ඇඳන් 350 කට අධික සංඛ්‍යාවකින් සමන්විත රෝහලක් තිබේ. 

ශ්‍රී ලාංකිකයන්ගේ පෝෂණය සහ ශාරීරික සංවර්ධනය වෙනුවෙන් සිය ව්‍යාපාරය මෙහෙයවන ප්‍රීමා සමාගම අඛණ්ඩව දෙවන වසරටත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ සම අනුග්‍රාහකයෙකු ලෙස ඉදිරියට පැමිණ ඇත. දෙවැනි සම අනුග්‍රාහකයා වන ටී.වී.එස් ලංකා (පුද්ගලික) සමාගම -ශ්‍රී ලංකාවේ යතුරු පැදි වෙළෙඳ පොලේ කීර්තිමත් සන්නාමයකි.
ශාන්ත පීතර විද්‍යාලයේ හිටපු නායකයකු වන සන්දේශ් ජයවික්‍රම මෙවර හැව්ලොක්ස් පිල මෙහෙයවයි. ජනිඳු ප්‍රනාන්දු කණ්ඩායමේ උප නායකයාය. 

ගල්කිස්ස සාන්ත තෝමස්, ශ්‍රී සුමංගල, ඉසිපතන සහ වෙස්ලි යන විදුහල් වලින් දක්ෂ පාසල් ක්‍රීඩකයින් 10 දෙනෙකු මෙම වාරයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එක්ව සිටිති. ඔවුන්ට අමතරව එච්. නිසල් සහ උදේශ් මධුශංක (සී.එච්. ඇන්ඩ් එෆ්.සී) හා යෙහාන් බුලත්සිංහල (ශ්‍රී ලංකා පොලිසිය) යන තිදෙනාම මේ වසරේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එක්ව සිටිති. 

සාලිය කුමාර මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන අතර සහකාර පුහුණුකරුවා වශයෙන්  අනුරංග වල්පොල මහතා කටයුතු කරයි. කණ්ඩායමේ ශක්තිය සහ තරග තත්ත්වයටන්ට සූදානම් කිරීමේ වගකීම -සුනිමල් මනම්පේරි මහතාට බාරව තිබේ. 

මේ හැව්ලොක් ක්‍රීඩා සමාජයීය රග්බි ක්‍රීඩාවේ 110 වසරයි. 

වර්ෂ 1915 දී ආරම්භ කරන ලද හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ රග්බි ක්‍රීඩාව වසර 110 ක් පුරා විශිෂ්ට ගමනක යෙදීමෙන් පසු 2025/2026 රග්බි තරග වාරයට සූදානම් වෙමින් සිටී. ගෙවිගිය වසර 110 පුරාම හැව්ලොක් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙලේ බලවේගයක් ලෙස දිගින් දිගටම පැවතිණ. 

ක්‍රීඩාවේ විශිෂ්ටත්වය, ප්‍රජා සහභාගීත්වය සහ ක්‍රීඩකයන්ගේ හැකියාවන් මෙන්ම චර්යාවේ සංවර්ධනය පිළිබඳ සම්ප්‍රදායත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය විසින් මහත්  ආඩම්බරයෙන් ඉදිරියට ගෙන යනු ලබන්නකි. 


අදහස් (0)

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ රග්බි පිලට ටර්බෝ-ෆ්ලයිහයි ස්පෝට්ස් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.