අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සති අන්තයේ දී මෙවර තරගාවලියේ පළමු පෙරළිය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම එතෙක් ඉදිරියෙන් පසුවූ මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කිරීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටි.
දෙවැනි සති අන්තයේ දී රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති තරගයෙන් සත්කාරකයන් හමුවේ ලකුණු 24-21 කින් නොසිතූ පරාජයක් අත්විඳීමෙන් පසුව ප්‍රසාද ලකුණු 7 ක් ලබා තුන්වැනි ස්ථානය දක්වා පසුබැසීමට මහනුවර පිලට සිදුවී තිබේ.
පළමු සතියේ තරග වටයේ දී ගුවන් හමුදා පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වූ හැව්ලොක්ස් පිල දෙවැනි වටයේ දී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 37-12 ක ජයක් ලබමින් අපරාජිතව පෙරමුණ ගැනීමට සමත්වෙද්දී එතෙක් තුන්වැනි තැන පසුවූ ශ්‍රී ලංකා නාවික හමුදා පිල සී.ආර්. පිලට එරෙහිව ලකුණු 21-13 ක ජයක් අත්කර ගනිමින් ප්‍රසාද ලකුණු 11ක් ලබා අපරාජිතව දෙවැනි තැන අත්කරගෙන සිටී.
මේ අතර සී.ආර්.පිල පස්වැනි තැනට ඇද දමා ප්‍රසාද ලකුණු 7 ක් ලබා සිවුවැනි ස්ථානය ඩැහැ ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පිල සමත්වූයේ දෙවැනි සතියේ දී සී.එච්. පිලට එරෙහිව ලකුණු 39-12 ක ජයක් ලබාගනිමිනි.
සී.ආර්.පිල ප්‍රසාද ලකුණු 5ක් ලබා පස්වැනි තැන පසුවන අතර පළමු සතිය අවසානයේදී 7 වැනි තැනට පත්ව සිටි ගුවන් හමුදා පිල දෙවැනි සතිය නිමාවෙද්දී ප්‍රසාද ලකුණු 5 ක් ලබා 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට සමත්වූයේ මහනුවර පිල පරාජය කිරීමෙනි.
තුන්වැනි සතියේ තරග අතුරින් හෙට (18) ශ්‍රී ලංකා යුද හමුදා පිල සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගැනීමට ඉඩ ඇත්තේ මහනුවර පිල නැතිවූ කීර්තිය සොයා යාමට සූදානම් වන බැවිනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගය පොලිස් පිටියේදී හෙට පැවැත්වෙයි.
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්.පිල අතර තරගය සෙනසුරාදා (19) හැව්ලොක්ස් පිටියේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදා පිල සහ සී.එච්. කණ්ඩායම අතර තරගය ඉරිදා (20) වැලිසර දී පැවැත්වෙයි.
දෙවැනි සතිය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහන
| ස්ථානය | කණ්ඩායම | තරග | ජය | වි.නැ | පරාජ | ත.ලකුණු | ලැබූ ලකුණු | දුන් ලකුණු | ප්‍රසාද ලකුණු | සම්පූර්ණ ලකුණු |
| 1 | හැව්ලොක් ක්‍රී.ස | 2 | 2 | 0 | 0 | 10 | 66 | 17 | 2 | 12 |
| 2 | නාවික හමුදා ක්‍රී.ස | 2 | 2 | 0 | 0 | 10 | 50 | 21 | 1 | 11 |
| 3 | මහනුවර ක්‍රී.ස | 2 | 1 | 0 | 1 | 5 | 117 | 24 | 2 | 7 |
| 4 | යුද හමුදා ක්‍රී.ස | 2 | 1 | 0 | 1 | 5 | 63 | 37 | 2 | 7 |
| 5 | සී.ආර් සහ එෆ්.සී | 2 | 1 | 0 | 1 | 5 | 38 | 45 | 0 | 5 |
| 6 | ගුවන් හමුදා ක්‍රී.ස | 2 | 1 | 0 | 1 | 5 | 29 | 50 | 0 | 5 |
| 7 | පොලිස් ක්‍රී.ස | 2 | 0 | 0 | 2 | 0 | 20 | 66 | 0 | 0 |
| 8 | සී.එච් සහ එෆ්.සී | 2 | 0 | 0 | 2 | 0 | 12 | 135 | 0 | 0 |
- 066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.