Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. ක්‍රීඩකයෝ වසර 7 කට පසු සී.ආර්. පරදවති
අන්තර් සමාජ රග්බි ලීගය

සී.එච්. ක්‍රීඩකයෝ වසර 7 කට පසු සී.ආර්. පරදවති

editorial - 2025 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) පස්වැනි සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ඊයේ (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 34-32 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

සී.එච්. කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර ඔවුන් 2019 වසරෙන් (ජනවාරි මාසයේදී) පසුව අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියකදී සී.ආර්. කණ්ඩායම පරාජය පළමු අවස්ථාවද මෙය විය. 2018-19 තරග වාරයේ මූලික වටයේදී ලකුණු 33-10 ක් ලෙස සී.ආර්. කණ්ඩායම පරාජය කිරීමෙන් අනතුරුව සී.එච්. කණ්ඩායම, පිට පිටම තරග 8 කදී සී.ආර්. කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබිණ. 

2018-19 තරග වාරයේ එක් තරගයක්, 2019-20 තරග වාරයේ තරග 2 ක්, 2022/23 තරග වාරයේ තරග 2 ක්, 2023/24 තරග වාරයේ තරග 2 ක් සහ 2024/25 තරග වාරයේ එක් තරගයක් ඊට ඇතුළත් විය. මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායම පරාජය කිරීමට සී.එච්. කණ්ඩායම සමත් වූයේ මින් පෙර ඔවුන් සී.ආර්. කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයට වසර 7 ක් සම්පූර්ණ වීමට තවත් මාසයක් ඉතිරිව තිබියදීය. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 22-17 ක් ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. ක්‍රීඩයෝ සමත් වූහ. එහිදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර සී.ආර්. කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සී.ආර්. ක්‍රීඩකයන් ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 15 ක් රැස්කරද්දී, සී.එච්. ක්‍රීඩකයන්ට දඬුවම් පහර 4 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි පරතරය හේතුවෙන් මෙම තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සී.එච්. ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ 10 වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර 14 වැනි විනාඩියේදී ක්‍රිස්ටියන් ඩි’ ලිල් වාර්තා කළ උත්සාහක දිනුමත් සමග සී.එච්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගියේය. එහෙත් 19 වැනි සහ 22 වැනි විනාඩිවලදී ඔමල්ක ගුණරත්න ලබාගත් උත්සාහක දිනුම් දෙක හේතුවෙන් ලකුණු 10-08 ක් ලෙස තරගයේ පෙරමුණට පැමිණීමට සී.ආර්. කණ්ඩායමට හැකි විය. 

මලික්ෂ පෙරේරා සහ ෆීජී ක්‍රීඩක ටුරුවා සෙරුපෙපිලි ලබාගත් උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් ජනිත් චන්දිමාල්, 34 වැනි විනාඩිය වන විට ලකුණු 22-10 ක් ලෙස යළිත් සී.එච්. කණ්ඩායමට තරගයේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදා කළේය. පසිඳු බණ්ඩාර ලබාගත් උත්සාහක දිනුමත්, තේනුක නානායක්කාර සාර්ථක කරගත් ප්‍රවර්ථනයත් හේතුවෙන් ලකුණු 22-17 ක් ලෙස පළමු අර්ධය නිමා කිරීමට සී.අර්. කණ්ඩායමට හැකි විය.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව සී.අර්. කණ්ඩායම වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළ පසිඳු බණ්ඩාර, ලකුණු 22-22 ක් කණ්ඩායම් දෙකම සම මට්ටමට රැගෙන ආවේය. එහෙත් 53 වැනි, 60 වැනි සහ 63 වැනි විනාඩිවලදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 3 ක් සාර්ථක කරගැනීමට සමත් වූ ජනිත් චන්දිමාල් ලකුණු 31-22 ක් දක්වා සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය. 

සටන අත්නොහළ සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් 74 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් නවීන් මාරසිංහ සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තේනුක නානායක්කාර ලකුණු 31-29 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති පරතරය අඩු කළහ. ඉන් නොනැවතුණ නානායක්කාර, තවත් විනාඩි කිහිපයක් ඇතුළත දඬුවම් පහරක්ද සාර්ථක කරගනිමින් සී.ආර්. කණ්ඩායමට ලකුණු 32-31 ක් ලෙස තරගයේ වැඩි වාසි අත්කර දුන්නේය. 

කෙසේ වුවත් තරගය නිමා වීමට විනාඩි 2 ක් තිබියදී, එනම් 78 වැනි විනාඩියේදී සී.එච්. කණ්ඩායමට හිමිවූ තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් ජනිත් චන්දිමාල්, ලකුණු 34-32 ක් ලෙස තෙවැනි වරටත් සිය කණ්ඩායමට සී.ආර්. කණ්ඩායම අභිබවා යෑමට අවස්ථාව උදාකර දුන්නේය. ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ චන්දිමාල්, මෙම තරගයේදී සාර්ථක කරගත් 5 වැනි දඬුවම් පහර එය වූ අතර එහිදී ඔහු ප්‍රවර්ථන දෙකක්ද සාර්ථක කරගෙන තිබිණ. 

 


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ වසර 7 කට පසු සී.ආර්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.