
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ දෙවැනි සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. පළමු සතියේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම පරාජය කළ සී.ආර්. කණ්ඩායම, තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගෙන ඇත්තේ දෙවැනි සතියේදී යුද හමුදාවද පරදවා ලකුණු 11 කට හිමිකම් කියමිනි.
මුල් සති දෙක තුළ සහභාගි වූ තරග දෙකම ජයගෙන සිටින ගුවන් හමුදාවද ලකුණු 11 ක් ලබා සිටින නමුත්, එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාව අතර පරතරය අනුව ගුවන් හමුදාවට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ. කෙසේ වුවත් ගුවන් හමුදාවට පළමු සතියේද, සී.ආර්. කණ්ඩායමට දෙවැනි සතියේද ප්‍රසාද ලකුණු ලබාගැනීමට නොහැකි විය.
පළමු ස්ථානයේ පසුවන සී.ආර්. කණ්ඩායමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 76 ක් වන අතර ගුවන් හමුදාවේ ලකුණු පරතරයන් 14 ක් ලෙස සටහන් වේ. පළමු සතියේදී නාවික හමුදාවට එරෙහිව පැවැති තරගය සමව අවසන් කරගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, දෙවැනි සතියේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 8 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි.
පළමු සතියේදී විවේකයක් ලබා දෙවැනි සතියේදී ප්‍රසාද ලකුණුද සමග නාවික හමුදාව පරාජය කළ මහනුවර ක්‍රීඩා සමාජය (ලකුණු 6) ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයටත්, පළමු සතියේදී ප්‍රසාද ලකුණුද සමග පොලිසිය පරාජය කරමින් දෙවැනි සතියේදී විවේකයක් ලබාගත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය (ලකුණු 6) ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයටත් පත්ව ඇත.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.