
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පළමු සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 65-08 ක දැවැන්ත ජයක් වාර්තා කළ සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණක්ද සමග මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 6 කි.
සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද පළමු සතියේදී පොලිසියට එරෙහිව සහභාගි වූ තරගය ප්‍රසාද ලකුණක් සමග ජයගැනීමට සමත් වූ නමුත්, එහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාව අතර පරතරය අනුව සී.එච්. කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
පළමු ස්ථානයේ පසුවන සී.ආර්. කණ්ඩායමේ ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 57 ක් වන අතර සී.එච්. කණ්ඩායමේ ලකුණු පරතරයන් 24 ක් ලෙස සටහන් වේ. යුද හමුදාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 24-19 ක ජයක් වාර්තා කළ ගුවන් හමුදාව ප්‍රසාද ලකුණක්ද සමග ලකුණු 5 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් විය.
පළමු සතියේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර පැවැති තරගය 31-31 ක් ලෙස ලකුණු සමවීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. ඒ අනුව ඔවුන් පිළිවෙළින් ලකුණු සටහනේ සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවේ. ගුවන් හමුදාව හමුවේ පරාජයට පත්වුවද, එහිදී ප්‍රසාද ලකුණක් ලබාගත් යුද හමුදාව ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටියි.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත.
කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.