
(ශානුක අරවින්ද)
රටවල් 12 ක සහභාගීත්වයෙන් පැවැති ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ 10 වැනි ස්ථානය දක්වා පසුබැසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද (19 වැනිදා) සිදුවූහ.
මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැති අතර චීනයේදී පැවැති පළමු අදියරේ 9 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව, මෙරටදී පැවැති දෙවැනි අදියරේ 11 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ඔවුන්ට සමස්ත තරගාවලියේ 10 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
අද කොළඹ, තුරඟ තරග පිටියේදී නිමාවට පත්වූ දෙවැනි අදියරේ 11 වැනි සහ 12 වැනි ස්ථාන වෙනුවෙන් පැවැති තේරීම් තරගයේදී ඉන්දුනීසියාවට එරෙහිව ලකුණු 38-10 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී ඔවුන් ලැබූ එකම ජය එය වූ අතර ඔවුන්ට එම තරගයට සහභාගි වීමට සිදුවූයේ 9 වැනි ස්ථානයත් 12 වැනි ස්ථානයත් අතර ස්ථානයක් සඳහා තරග වැදුණු අවස්ථාවේදී මැලේසියාව හමුවේ ලකුණු 24-19 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙනි.
මූලික වටයේදී තායිලන්තය හමුවේ ලකුණු 43-00 ක් ලෙසද, හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 31-00 ක් ලෙසද, සිංගප්පූරුව හමුවේ ලකුණු 22-10 ක් ලෙසද පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව, ‘එෆ්’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්විය. ඒ අනුව ඔවුන්ට ශ්‍රේණිගත කිරීමේ තරගවලදී තරගාවලියේ 9 වැනි ස්ථානයත් 12 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.
අවසන් මහ තරගවලදී හොං කොං රාජ්‍යය පරාජයට පත්කළ ජපන් ක්‍රීඩිකාවෝ පළමු අදියර මෙන්ම දෙවැනි අදියරද ජය ගනිමින් සමස්ත තරගාවලියේ ශූරියන් බවට පත් වූහ. චීන ක්‍රීඩිකාවන් තරගාවලියේ අනු ශූරියන් බවට පත් වූ අතර හොං කොං රාජ්‍යය සහ තායිලන්තය සම තෙවැනි ස්ථානයන්ට පත්විය. ඒ පිළිවෙළින් පළමු සහ දෙවැනි අදියරවලදී තෙවැනි ස්ථානයක් සහ සිව්වැනි ස්ථානයක් බැගින් හිමිකර ගනිමිනි.





ඡායාරූප - ආසියානු රග්බි සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.