Last Update  :  2025-10-18 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උස්බෙකිස්තානය පරදවති
ආසියානු සත් සාමාජික තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උස්බෙකිස්තානය පරදවති

editorial - 2025 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ මූලික ව‍ටය යටතේ අද (18 වැනිදා) පැවැති ‘සී’ කාණ්ඩයේ තරගයකදී උස්බෙකිස්තානයට එරෙහිව ලකුණු 26-14 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයත් සමග 'සී' කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-07 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවුවද, දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් ලකුණු 19 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එහිදී උස්බෙකිස්තාන ක්‍රීඩකයන්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 7 ක් පමණි. මෙම තරගයේදී ශ්‍රී ලංකාව ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සමගින්ද, උස්බෙකිස්තානය ගෝල දිනුම් 2 ක් මගින්ද ලකුණු ලබා ගත්තේය.

ගෝල දිනුමක් ලබාගනිමින් ආරම්භයේදීම තරගයේ පෙරමුණ ගැනීමට උස්බෙකිස්තානය සමත් වුවද, පළමු අර්ධයේ අවසන් විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර දෙපිලේම ලකුණු සම තත්වයට පත්කරමින් පළමු අර්ධය නිමාවට පත් කළේය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි එකහමාරක් පමණ ගත වන විට එනම් 8 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කළ ජනිඳු දිල්ෂාන් සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් දිලුක්ෂ දංගේ ලකුණු 14-07 ක් ලෙස ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණට ගෙන ආහ. ඉන් අනතුරුව 9 වැනි සහ 13 වැනි විනාඩිවලදී ගයාන් පෙරේරා සහ චතුර සොයිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ සුරංග තෙන්නකෝන් විසිනි.

මූළික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන මීලඟ තරග දෙක සිංගප්පූරුවට එරෙහිව පස්වරු 5.04 ටද, චීනයට එරෙහිව පස්වරු 9.50 ටද ආරම්භ වීමට නියමිතය. 'සී' කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාව එම තරග දෙකම ජයගත යුතුය. ඉන් එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා කාණ්ඩ තුනේ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් අතරින් ඉහළම දස්කම් දක්වන කණ්ඩායම බවට පත්වීමට සිදුවනු ඇත. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උස්බෙකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.