Last Update  :  2025-10-27 19:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියාවේ තෙවැනි තැන දිනති
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියාවේ තෙවැනි තැන දිනති

editorial - 2025 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී දිලුක්ෂ දංගේ උත්සාහක දිනුමක් ලබාගනිමින්..

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් සහ රටවල් 12 ක සහභාගීත්වයෙන් පැවැති ආසියානු පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (19 වැනිදා) සමත් විය. මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැති අතර චීනයේදී පැවැති පළමු අදියරේ සිවුවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව, මෙරටදී පැවැති දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයට පත් වෙමින් සමස්ත තරගාවලියේ සම තෙවැනි ස්ථානයට හිමිකම් කීවේය. 

පළමු අදියරේදී තෙවැනි ස්ථානයට පත්වූ චීනය, දෙවැනි අදියරේදී සිවුවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ඔවුන්ද සමස්ත තරගාවලියේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාව සමග සම තෙවැනි ස්ථානයට හිමිකම් කීවේය. අවසන් මහ තරගවලදී ජපානය පරාජය කරමින් පළමු අර්ධය මෙන්ම දෙවැනි අර්ධයද ජයගත් හොංකොං රාජ්‍යය සමස්ත තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. එහි සමස්ත අනු ශූරතාව ජපානය සතු විය. 

අද කොළඹ, තුරඟ තරග පිටියේදී නිමාවට පත්වූ දෙවැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන වෙනුවෙන් පැවැති තේරීම් තරගයේදී චීනයට එරෙහිව ලකුණු 19-14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු අදිරේදී චීනය හමුවේ ලකුණු 22-17 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, දෙවැනි අදියරේදී දෙවරක්ම චීනය පරාජය කිරීමට සමත් වීම කැපී පෙනුණ සිදුවීමක් බවට පත්විය. මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව හමුවේ චීනය පරාජයට පත් වූයේ ලකුණු 34-07 ක් ලෙසිනි. 

චීනයට එරෙහිව තෙවැනි සහ සිවුවැනි ස්ථාන වෙනුවෙන් පැවැති තේරීම් තරගයේ පළමු විනාඩියේදීම උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කරගත් ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ආරම්භයේදීම ශ්‍රී ලංකාව පෙරට ගෙන ආවේය. කෙසේ වුවත් 7 වැනි විනාඩියේදී යැංග් යැංග් ෆෑන් ලබාගත් උත්සාහක දිනුමත්, චොංග් මා සාර්ථක කරගත් ප්‍රවර්ථනයත් සමග පළමු අර්ධය නිමාවට පත්වන විට දෙපිලේම ලකුණු 07-07 ක් ලෙස සම තත්වයට පත් විය. 

දෙවැනි අර්ධයේ ආරම්භක විනාඩියේදී දිලුක්ෂ දංගේ ලබාගත් උත්සාහක දිනුමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ යළිත් වරක් තරගයේ පෙරමුණට පැමිණියහ. එහෙත් ඔවුන් තරගයේ ජය තහවුරු කරගත්තේ අවසන් විනාඩියේ මුල් තත්පර කිහිපය තුළදී තරිඳු දාබරේ ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට දිලුක්ෂ දංගේ සමත් වීමත් සමගිනි. අවසන් විනාඩියේ අවසන් තත්පර කිහිපය තුළ ගෝල දිනුමක් වාර්තා කිරමට චීනය සමත් වුවද, තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

මූලික වටයේදී උස්බැකිස්ථානයට එරෙහිව ලකුණු 26-14 ක් ලෙසද, සිංගප්පූරුවට එරෙහිව ලකුණු 22-05 ක් ලෙසද, චීනයට එරෙහිව ලකුණු 34-07 ක් ලෙසද ජය වාර්තා කළ ශ්‍රී ලංකාව, ‘සී’ කාණ්ඩයේ ශූරයන් ලෙස අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 

කෙසේ වුවත් අතිශය තියුණු තරගයකින් අනතුරුව එහිදී ජපානය හමුවේ ලකුණු 15-12 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් මහ තරගය බලාපොරොත්තු අතහැර, තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. 

 

ඡායාරූප - ළහිරු හර්ෂණ 

 

ඡායාරූපය - ආසියානු රග්බි සම්මේලනය අනුග්‍රහයෙනි 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියාවේ තෙවැනි තැන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.