Last Update  :  2025-11-18 20:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තරින්ද රත්වත්තේ රග්බි පිටියට සමුදෙයි

තරින්ද රත්වත්තේ රග්බි පිටියට සමුදෙයි

editorial - 2025 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක තරින්ද රත්වත්තේ ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ඔහු සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටියේය. ඒ අනුව ඉකුත් ජූනි සහ ජූලි මාසවලදී පැවැති ආසියානු රග්බි ශූරතාවලිය තරින්දගේ අවසන් ජාත්‍යන්තර රග්බි තරගාවලිය විය. 

මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන තරින්ද, 2006 වසරේදී පාසල් වයස 12 න් පහළ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාවට අවතීර්ණ විය. 2014 වසරේදී ඔහු ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර එම වසරේ අන්තර් පාසල් රග්බි ලීගයේ අනු ශූරතාව කරා සිය පාසල රැගෙන යෑමටද ඔහු සමත් විය. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළ තරින්ද, පසු කළෙක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වයද දැරූවේය. 2015 වසරේ සිට 2019 වසර දක්වා සී.ආර්. ඇන්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඔහු, 2019 වසරේ සිට ක්‍රීඩාවෙන් සමුගන්නා තෙක්ම මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය.

“දශක දෙකකට ආසන්න කාලයක් රග්බි ක්‍රීඩාවේ නියැලී ජීවත් වීමෙන් පසු, අවසානයේදී එම අමතක නොවන පරිච්ඡේදය අවසන් කිරීම සඳහා මගේ ජීවිතයේ දුෂ්කරම තීරණය ගත්තෙමි. ඒ මගේ පවුල සහ නීති වෘත්තිය කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇති බැවිනි.” 

“2006 වසරේදී ත්‍රිත්ව විද්‍යාල වයස අවුරුදු 12 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ආරම්භ වූ ගමන, මට කිසිදා අමතක නොවන ගමනක් වූ අතර එය දැන් ශ්‍රී ලංකා නායකත්වය දැරීමේ ගෞරවයත් සමග නිමාවට පත්වනු ඇත. මගේ පළමු පාසල් තරගයේ සිට ශ්‍රී ලංකා කමිසය ඇඳීම දක්වා රග්බි ක්‍රීඩාව මට ජීවිත කාලය පුරාම මිත්‍රත්වයන්, මිල කළ නොහැකි පාඩම් සහ මා සමග සදහටම පවතින ආදරණීය මතකයන් ගොන්නක් ලබා දී ඇත.” 

“වසර 10 ක වෘත්තීය ක්‍රීඩා දිවිය තුළ සී.ආර්. ඇන්ඩ් ක්‍රීඩා සහ මහනුවර යන විශිෂ්ට සමාජ දෙකක් නියෝජනය කිරීමේ වරප්‍රසාදය මට ලැබිණි. විශිෂ්ට කණ්ඩායම් සගයන් සමග ක්‍රීඩා කිරීම, ඇදහිය නොහැකි පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම සහ කැපවූ කළමනාකරුවන්ගේ සහ ක්‍රීඩා සමාජ නිලධාරීන්ගේ සහයෝගය ලැබීමට තරම් මම ආශිර්වාද ලබා තිබුණෙමි. ඒ වෙනුවෙන් ඔවුන් සැමට මගේ හෘදයාංගම කෘතඥතාව පළකර සිටිමි.” 

“ඔබ මා කෙරෙහි ඔබ තැබූ විශ්වාසය මගේ වෘත්තීය ජීවිතය සහ මගේ චරිතය හැඩගස්වා ගැනීමට බොහෙවින්ම ඉවහල් වීය. මගේ දෙමව්පියන්ට, සහෝදරියට සහ මගේ බිරිඳට මාව ශක්තිමත් කිරීමට සහ පිටියේ ප්‍රතිඵලය කුමක් වුවත් කොන්දේසි විරහිතව මට ආදරය කිරීම ගැන ස්තූති වන්ත වෙමි. ඔබේ සහයෝගය මගේ ශක්තිය වූ අතර ඔබේ විශ්වාසය සෑම අභියෝගයක් හරහාම මාව රැගෙන ගියේය.”  

“අවසාන වශයෙන් අප සියල්ලන්ම ඉහළට ඔසවා තැබූ ජයග්‍රහණ සහ අපව පරීක්ෂා කළ පරාජයන් හමුවේ අප සමග සිටීම ගැන සියලුම රසිකයින්ටත් ස්තූතියි කිරීමට කැමැත්තෙමි. මම පිටියට පිවිසෙන සෑම අවස්ථාවකම ඔබ ලබාදුන් ශක්තිය, මා කෙරෙහි ඔබ තුළ තිබූ විශ්වාසය සහ ඔබගේ ප්‍රීති ඝෝෂා වෙනුවෙන් අනේක වාරයක් මම ස්තුතිවන්ත වෙමි.” 

“ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාවෙන් ඉවත් වුණත්, උපදේශකත්වය, පුහුණු කිරීම හෝ විස්තර විචාරය ඔස්සේ වුවද, හැකි ඕනෑම ආකාරයකින් ක්‍රීඩාව සමග සම්බන්ධ වීමට මම කැමත්තෙමි. රග්බි ක්‍රීඩාව සැමවිටම මගේ ජීවිතයේ කොටසක් වනු ඇත. ක්‍රීඩාව මට විනය, ඔරොත්තු දීමේ හැකියාව සහ නිහතමානිකම උගන්වා තිබේ. ඒ වෙනුවෙන් මම රග්බි ක්‍රීඩාවට සදා ණයගැති වෙමි.” යැයි තරින්ද සිය මුහුණු පොතේ තබා ඇති සටහනේ අන්තර්ගත වේ. 

 


අදහස් (0)

තරින්ද රත්වත්තේ රග්බි පිටියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.